Loading...

,

අනුරගේ ඇමතුම වැඩ කරයි – ඉන්දියාව සමඟ ක්‍රීඩා කිරීමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට අවසර ලැබෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ඉන්දියාවට එරෙහිව තරඟයට සහභාගී වන ලෙස පාකිස්ථාන රජය එරට ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

මේ අනුව මෙම තරඟය පෙබරවාරි 15 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී සැලසුම් කර තිබූ ලෙසම පැවැත්වෙනු ඇති.

මෙම තරඟය වර්ජනය කිරීමේ තීරණය සම්බන්ධව නැවත සලකා බලන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්ථාන රජයෙන් විශේෂ ඉල්ලීමක් කර තිබුණා.

එම තීරණයට ප්‍රතිචාර දක්වමින් පාකිස්ථානු රජය ඔවුන්ගේ තීරණය වෙනස් කර ඇති බව සඳහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්ථාන අගමැතිවරයා අතර ඊයේ (09) දුරකථන සංවාදයක් සිදුව තිබුණා.

ඒ අතරවාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ඉල්ලීම සිදුකර ඇත.

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් දරුණුතම ලෙස පීඩා විඳමින් සිටි අවස්ථාවේ දී පවා පාකිස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහාය දුන් ආකාරය ද ජනාධිපතිවරයා සිය දුරකථන සංවාදයේ දී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට සිහිපත් කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිචාර ලෙස පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සලකා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරඟයට පාකිස්ථාන කණ්ඩායම සහභාගී වීමට අනුමැතිය ලබා දෙන බවයි.

පාකිස්ථානය සිය තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දී උනන්දුවෙන් බලා සිටි ඉන්දියාව සහ පාකිස්ථාන අතර තරඟය සැලසුම් කර ඇති පරිදි පැවැත්වීමට එකඟත්වය පළ කිරීම පිළිබඳව තමන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ස්තූතිවන්ත වන බවයි.

තරඟාවලියේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ ඒ සඳහා සහයෝගය දුන් සියලු දෙනාට ස්තුතිවන්ත වන බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරයා සිය සටහනේ සඳහන් කරන්නේ 1996 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ඉන්දියාව සහ පාකිස්ථානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය අමතක කර නොමැති බවයි.

මේ අනුව ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය යටතේ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟය සඳහා සහභාගී වන ලෙස පාකිස්ථාන රජය එරට ක්‍රිකට් කණ්ඩායමට දැනුම් දී තිබුණා.

මේ අතර පාකිස්ථාන රජය සිය නිල X ගිණුමේ සටහනක් තබා තිබුණා.

ඒ අනුව නියමිත කාල සටහනට අනුව පෙබරවාරි මස 15 වන දින ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟය සඳහා පිටියට පිවිසෙන ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායමට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම සහ සහභාගී වන සියලු ජාතීන්ට මෙම ගෝලීය ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහාය වීමට මෙම තීරණය ගෙන ඇති බවද පාකිස්ථාන රජය සිය සටහනෙන් පෙන්වා දෙනවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් විසින් නිල වශයෙන් ඒ සම්බන්ධව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට දැනුම් දී තිබෙනවා.

ලබන 15 වන දින කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟය වර්ජනය කරන ලෙස පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට එරට රජය විසින් මීට පෙර දැනුම් දී තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *