ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරයක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (05) සමත් වුණා.
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගත් බංග්ලාදේශ නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
මේ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
මෙහිදී බංග්ලාදේශය වෙනුවෙන් පර්විස් හොසේන් ලකුණු 67ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් සහ වනිඳු හසරංග කඩුලු 3ක් බිඳ හෙලීමට සමත් වුණා.
ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 5කට දැවී ගියා.
පසුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් පන්දු 31කින් වේගවත් ලකුණු 56ක් රැස් කිරීමට සමත් වුණා.
මස්ටෆිසූර් රෙහෙමාන් යැවූ පළමු පන්දුවාරයේ පළමු පන්දු 4ට හතරෙ පහර 4ක් එල්ල කළ කුසල් සිය අර්ධ ශතකය පන්දු 20කින් සම්පුර්ණ කළා.
නිශාන් මදුෂ්කගේ ඉනිම ලකුණු 17කට සීමා වූ අතර නායක චරිත් අසලංකා ලකුණු 6කට සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 33කට දවා ගනිමින් බංග්ලාදේශය නැවත තරඟයට අවතීර්ණ වුණා.
කඩන් වැටුණු ශ්‍රී ලංකා ඉනිමට තරඟයේ අවසන් භාගයේ දී ජනිත් ලියනගේ සහ දුෂ්මන්ත චමීර එක්ව 9 වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් එක් කළා.
කෙසේ වෙතත් මස්ටෆිසූර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ ජනිත් ලියනගේ දැවී යාම සමඟ ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තු බිඳ වැටුණා.
ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය මේ වනවිට එකට එකක් ලෙස කණ්ඩායම් දෙක සම තත්ත්වයේ පසුවනවා.
තරඟාවලියේ අවසන් තරඟය ලබන 8 වන පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.








Leave a Reply