කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු සම්බන්ධව සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණු දී තිබෙන ගැටළු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.
මෙහිදී කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී තිබෙන අභියෝග සම්බන්ධයෙන් එම නිලධාරීන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ ගුරු පුරප්පාඩු, පන්ති කාමර හිඟය සහ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉස්ලාම් දහම සිංහලෙන් ඉගැන්වීමේ දුෂ්කරතා සහ මුස්ලිම් ප්‍රජාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල මුස්ලිම් පාසල් නොමැතිකම වැනි ගැටළු පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බවයි.
මුස්ලිම් සිසුන් 40000ක් පමණ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන අතර සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහම ඉගැන්වීමේ නිපුණතාවක් සහිත ගුරුවරුන්ගේ හිඟය පියවීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.
කොළඹ මුස්ලිම් පාසල් 19ක් ආසන්න වශයෙන් ගුරුවරුන් 200ක් පමණ හිඟයක් පවතින බව විදුහල්පතිවරුන් සහ සංවිධාන නියෝජිතයෝ පෙන්වා දී ඇති බව සඳහන්.
මෙහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ එම ගුරු පුරප්පාඩු සපුරාලීම සඳහා සුදුසුකම් ලත් ගුරුවරුන් හඳුනාගෙන අවශ්‍ය පත්වීම් සිදුකරන ලෙසයි.








Leave a Reply