Loading...

සේවිකාව සිප ගත් නිසා වසර 7ක සිරදඬුවමක්

පෞද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිණියක් සිප වැළඳ ගැනීමේ චෝදනාවෙන් ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබූ එම සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයාට අභියාචනාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 07ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

සම්පත් අබේකෝන් සහ පී කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

තවද විත්තිකරු විසින් අගතියට පත් තැනැත්තියට රුපියල් 750,000ක වන්දියක් ගෙවිය යුතු ලෙසද නියෝග කර තිබෙනවා.

අදාළ වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතර වසරක සිරදඬුවම් නියම කරන බවත් එම තීන්දුවේ දැක්වෙනවා.

මෙම නඩුවේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අගතියට පත් තැනැත්තිය විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුවයි විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ.

එම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව 2015 වසරේ සැප්තැම්බර් 16 වනදා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කරනු ලැබුවා.

මහාධිකරණ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වන්නේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොතිබීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *