Loading...

2027 අයවැයට එරෙහිව රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් හෙට ජාතික විරෝධතාවක

2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් දිවයින පුරා ජාතික විරෝධතාවක නිරත වීමට තීරණය කර තිබෙනවා.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පවසමින් රජයේ වෘත්තීය සමිති මේ වන විටත් විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් මහතා සඳහන් කළේ හෙට දිනයේදී සියලුම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් එක්ව ජාතික කළු විරෝධතාවක් ප්‍රකාශයට පත් කර ඇති බවත්, ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් නොවැම්බර් 30 වැනිදා වන විට පාසල් පද්ධතිය වසා දැමීමට සිදුවිය හැකි බවත්ය.

”අයවැයට එරෙහිව මේ වෙනකොට ගුරු, විදුහල්පතිවරු වගේම රාජ්‍ය සේවකයෝ තමන්ගේ ප්‍රතිචාරය දක්වන්න පටන් අරන් තියෙනවා. ගුරුවරු සහ විදුහල්පතිවරුත් ක්‍රියාමාර්ග ආරම්භ කරනවා. ඒ වගේම ආණ්ඩුවේ ප්‍රතිචාරය මත ඊළඟ සතිය බොහෝ විට වර්ජනයකට යෑමට නියමිතව තිබෙනවා. ඒ වගේම තමයි මේ සියල්ල දිනා ගැනීම සඳහා ගුරුවරු, විදුහල්පතිවරු සමස්ත අධ්‍යාපන පද්ධතිය සමස්ත රාජ්‍ය සේවය සමඟ ජාතික විරෝධතාවය 23 වැනිදා අපි ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ගුරුවරු, විදුහල්පතිවරු කළු ඇඳන් සේවයට වාර්තා කිරීම, ජාතික කළු විරෝධතාවය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ආණ්ඩුවට අපි කියනවා, ප්‍රකාශයට පත් කරේ 23 වැනිදා ජාතික විරෝධතාවය. හැබැයි ආණ්ඩුව ඒකට දක්වන ප්‍රතිචාරය මත ඒක ඊළඟ සතිය වෙනකොට වර්ජනයක් දක්වා දීර්ඝ වෙන්න පුළුවන්. ආණ්ඩුව උත්තර දෙන්න සූදානම් නැත්නම් අකමැත්තෙන් වුවත් ගුරුවරු සහ විදුහල්පතිවරු විදියට පාසල් පද්ධතිය 30 වැනිදා වහන්න සිද්ධ වෙනවා.”

මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසුවේ හෙට දිනයේදී රට පුරා රෝහල් සහ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, නොවැම්බර් 30 වැනිදා එක්දින වැඩ වර්ජනයක නිරත වීමට සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති එකඟතාවකට පැමිණ ඇති බවත්ය.

”හරිම නිශ්චිතව අපි කියන්න කැමතියි, නොවැම්බර් මාසයේ 23 වැනිදා රාජ්‍ය සේවකයන් ඇතුළු මේ රටේ වැඩ කරන පන්තිය මේ කැඳවලා තියෙන විරෝධතා උද්ඝෝෂණයට, ජාතික විරෝධතා දිනයට මේ රටේ සියලුම රෝහල්වල රෝහල් සහායක කාර්ය මණ්ඩලය මේ ක්‍රියාමාර්ගයත් එක්ක එකතු වෙන්න මේ වෙනකොට අනුමැතිය පළ කරලා තියෙන්නේ. ඒ නිසා අපි 23 වැනිදා රටපුරා රෝහල් ඉදිරිපිට, ආයතන ඉදිරිපිට අපි අපේ විරෝධතාවය මේ ආණ්ඩුවට ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි නොවැම්බර් මාසයේ 30 වැනිදා එක්දින වැඩ වර්ජනයක් කරන්න මේ වෙනකොට අපේ එකඟතාවයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ ක්‍රියාමාර්ගයේදී මේ වෙනකොට රෝහල් සහාය කාර්ය මණ්ඩලයට අදාළ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කර ගනිමින්, ආණ්ඩුවේ හැර සියලු දෙනා මේ වෙනකොට එකඟතාවය පළ කරමින් ඉන්නේ 30 වැනිදා වැඩ වර්ජනය සම්බන්ධයෙන්”

එමෙන්ම හෙට දිනයේදී රාජ්‍ය සේවකයන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත විරෝධතාවට කම්කරු අරගල මධ්‍යස්ථානය ද සහාය පළ කරන බව එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා සඳහන් කළා.

නොවැම්බර් 30 වැනිදා ඇතැම් ක්ෂේත්‍රවල එක්දින වැඩ වර්ජන සහ තවත් ක්ෂේත්‍රවල දින දෙකක වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඊට වඩා පුළුල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා වැඩ කරන ජනතාව පෙළගැස්වීමට කම්කරු අරගල මධ්‍යස්ථානය සූදානම් බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

”ඉදිරි සති දෙක තුළ වැඩ කරන පන්තියේ ඉතාම ප්‍රබල ක්‍රියාමාර්ග ගණනාවක් සංවිධානය කරලා තියෙනවා මේ ජනතාවට කරමින් ඉන්න අසාධාරණයේ සහ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් පාවා දීමට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා. අපි බලාපොරොත්තු වෙනවා 23 වෙනිදා රාජ්‍ය ආයතන ඉස්සරහපිට, ආයතන ගණනාවක් ඉස්සරහපිට විරෝධතාවයක් කැඳවන්න. ඒ වගේම නොවැම්බර් මාසේ 30 වෙනිදා නැවත එක්දින වැඩ වර්ජන සමහර ක්ෂේත්‍ර වල ඒ වගේම සමහර ක්ෂේත්‍ර වල දින දෙකේ වැඩ වර්ජන කැඳවලා තියෙනවා. ඒ නිසා ඒ වැඩ වර්ජන වලට පැහැදිලිවම කම්කරු අරගල මධ්‍යස්ථානය මැදිහත් වෙනවා. කම්කරු අරගල මධ්‍යස්ථානය සූදානම් වෙනවා ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඊට එහා ගිය ක්‍රියාමාර්ග වලට කම්කරු පන්තියේ වැඩ කරන ජනතාව කැඳවන්න”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *