හිටපු ජනාධිපතිවරුන් විසින් මේ දක්වා භාවිතා කළ අධි සුඛෝපභෝගී වාහන 60කට අධික ගණනකින් රුපියල් කෝටි 200කට වැඩි කුලී මුදලක් පැහැර ඇති බව දුෂණ විරෝධී හඬ සංවිධානය පවසනවා.
එම සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙන්නේ ඉන් වාහන දෙකක් අතුරුදහන්ව ඇති බවයි.
ඇතැම් වාහනවල වටිනාකම රුපියල් කෝටි 8කට අධික ඒවා බවද හෙළිව තිබෙනවා.
හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙක් විසින් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන 60කට අධික ප්‍රමාණයකින් ගෙවිය යුතු රුපියල් මිලියන 2000කට වැඩි කුලී මෙලෙස පැහැර ඇති බව එම සංවිධානය පෙන්වා දෙනවා.
අදාළ වාහන සම්බන්ධව ජනාධිපති ලේකම්වරුන් වගකිව යුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊට අදාළ නඩුවක් ද පවරා ඇති බවයි වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ.
2006 සිට ජනාධිපතිවරුන් තිදෙනෙකු යටතේ භාවිත කළ වාහන මෙලෙස අතුරුදහන්ව තිබෙනවා.
තවද මෙරට ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමකින් කල්බදු ක්‍රමයට මෙම වාහන කුලියට ගෙන ඇති බවද වාර්තා වනවා.
ඔහු පවසන්නේ මෙම වාහන භාවිතා කළේ කුමන ජනාධිපතිවරුන් ද, ඔවුන් ගෙවිය යුතු මුදල කොපමණ ද, වාහන අංක ඇතුළු තොරතුරු ඉදිරියේ දී මාධ්‍ය මඟින් ප්‍රසිද්ධියට පත්කරන බවයි.
මෙම ගෙවීම් පැහැර හැරීම මත නොගෙවූ මුදලට මාසිකව අය කළ යුතු ප්‍රමාද පොළිය 3%, 4% වන මුදල් අය කිරීමට එම වාහන සමාගම් කටයුතු කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
Leave a Reply