සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂයට බලය හිමි මහනුවර දිස්ත්රික්කයේ පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සමස්ත කටයුතු තාවකාලිකව අත්හිටුවීමට මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මධ්යම පළාත් ආණ්ඩුකාර වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතා විසින් ඊයේ (19) සිට ක්රියාත්මක වන පරිදි අදාළ අත්හිටුවීම සිදුකර ඇති අතර, ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්රාදේශීය සභාව මඟින් ප්රදේශයේ ජනතාව වෙත ඉටුවිය යුතු අත්යාවශ්ය සේවාවන් නිසි පරිදි ඉටු නොවීම මෙන්ම, ‘දිට්වා’ ආපදාවෙන් බලපෑමට ලක්වූ විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා වෙන්කර තිබූ ප්රතිපාදන නිසි ලෙස භාවිත නොකිරීම යන කරුණු මුල්කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බව මධ්යම පළාත් ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.
ආණ්ඩුකාරවරයා වෙත පැවරී ඇති නීත්යානුකූල බලතල ප්රකාරව, පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සමස්ත සභිකයින් ප්රාදේශීය සභා පනත යටතේ කිසියම් වරදක් සිදුකර තිබේද යන්න පිළිබඳව පුළුල් ලෙස විමර්ශනය කර වාර්තා කිරීම සඳහා විශ්රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ මහතා පත්කර තිබෙනවා.
මීට අමතරව, අදාළ ප්රාදේශීය සභාවේ බලතල ක්රියාත්මක කිරීම සහ මහජන කාර්යයන් අඛණ්ඩව ඉටුකිරීම සඳහා මහනුවර දිස්ත්රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා පත්කිරීමට ද පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.






Leave a Reply