දකුණු අමෙරිකානු සහ මධ්‍යම අමෙරිකානු කලාපයටම දැඩි ලෙස දැනී යන පරිදි පැනමාව ආශ්‍රිතව රික්ටර් මාපකයේ 7.7ක අතිශය ප්‍රබලත්වයෙන් යුත් ව්‍යසනකාරී භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (09) රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රබල භූචලනයත් සමග සමස්ත කලාපය පුරාම වහාම ක්‍රියාත්මක වන පරිදි සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු අතර, කොලොම්බියාව, ඉක්වදෝරය, නිකරගුවා, කොස්ටාරිකා සහ ග්වාතමාලාව යන අසල්වැසි රටවලට ද එම බරපතල සුනාමි අවදානම බලපා තිබුණා.
අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කරන්නේ, පැනමා නගරයට කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි අඩු ජනගහනයක් සහිත ප්‍රදේශයක, පොළොව මතුපිට සිට කිලෝමීටර් 12.6ක ගැඹුරින් මෙම භූමිකම්පාවේ කේන්ද්‍රය පිහිටා තිබූ බවයි.
ප්‍රධාන භූකම්පනයෙන් අනතුරුව මේ වන විටත් පසුකම්පන (Aftershocks) 80කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, දැඩි භීතියට පත් දහස් සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂාව පතා විවෘත වීථි වෙත රොක්ව සිටින බව සෙසු විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
භූමිකම්පාවේ බලපෑමෙන් පැනමා නගරයට නිරිත දෙසින් පිහිටි පෙනොනෝම් නගරයේ ප්‍රසිද්ධ හෝටලයක කොටසක් කඩා වැටී ඇති අතර, ප්‍රදේශයේ ගොඩනැගිලි රැසකට ද දැඩි හානි සිදුව තිබෙනවා. එමෙන්ම එරට පළාත් 06ක විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, වාසනාවකට මෙන් මෙම දැවැන්ත ව්‍යසනයෙන් කිසිදු ජීවිතක්ෂයට පත්වීමක් හෝ බරපතල තුවාල ලැබීමක් මෙතෙක් වාර්තා වී නොමැති වීම විශාල සහනයක්.
මෙම හදිසි ආපදා තත්ත්වය හමුවේ වුවද, පැනමාවේ ප්‍රධාන ආර්ථික මර්මස්ථාන වන ලෝකප්‍රකට පැනමා ඇළ මාර්ගය, කොබ්‍රේ පැනමා තඹ පතල සහ තාවකාලික ගුවන්ගමන් තහනම ඉවත් කිරීමෙන් පසු ටොකුමෙන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ මේ වන විට සාමාන්‍ය පරිදි නැවත ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
එසේ වුවද, මෙම භූකම්පන ව්‍යසනය හේතුවෙන් පැනමාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 1%ත් 10%ත් අතර අතිදැවැන්ත ආර්ථික අලාභයක් සිදුවිය හැකි බවටයි මූල්‍ය විශ්ලේෂකයින් දැනටමත් පුරෝකථනය කර ඇත්තේ.
මෑත කාලයේ වෙනිසියුලාවේ සහ කොලොම්බියාවේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවලදී දහස් ගණනින් මිනිස් ජීවිත අහිමි වුවද, මෙම 7.7ක ප්‍රබල භූකම්පනයෙන් මහා පරිමාණ ජීවිත හානියක් සිදු නොවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ, භූකම්පන කේන්ද්‍රය ආශ්‍රිතව ජීවත් වී ඇත්තේ 43,000ක වැනි සීමිත ජනගහනයක් වීමයි. වෙනිසියුලාව සහ කොලොම්බියාවේ භූකම්පා සිදුවූ ප්‍රදේශවල මිලියන 1.4කට හා 1.6කට අධික අධික ජනගහනයක් වාසය කර තිබුණා.







Leave a Reply