ශ්රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායේ හිටපු සෙබළෙකු වූ ඉරෝන් රණසිංහ හෙවත් ‘එස්.එෆ්. ලොක්කා’ වෙඩි තබා ඝාතනය කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න මහතා හමුවේ යළි කැඳවනු ලැබුවා.
මෙහිදී සැකකරුවෙකුට අධිකරණය හමුවේ ස්වයං පාපොච්චාරණයක් (Confession) කිරීමට අවශ්ය නම් ඒ බව අධිකරණයට දැනුම් දිය යුත්තේ අදාළ සැකකරු මිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) නොවන බව පවසමින් මහෙස්ත්රාත්වරයා සී.අයි.ඩී. නිලධාරීන්ගේ ක්රියාකලාපය දැඩි ලෙස ප්රශ්න කරනු ලැබුවා.
අනුරාධපුර ප්රධාන මහෙස්ත්රාත් සියපත් සසිඳු වික්රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක මනුෂ්ය ඝාතන විමර්ශන ඒකකයේ නිලධාරීන්ගෙන් ප්රශ්න කර සිටියේ, යම් අපරාධයක් සම්බන්ධයෙන් සැකකරුවෙකුට අධිකරණයට ස්වයං පාපොච්චාරණයක් කිරීමට අවශ්ය නම් ඒ බව අධිකරණයට දැනුම් දිය යුත්තේ අදාළ සැකකරුම විසින්ම විය යුතු බවට වන මූලික නීතිමය පසුබිමක් තිබියදී, සැකකරු වෙනුවෙන් අදාළ ප්රකාශය සී.අයි.ඩී. විසින් අධිකරණයට දැනුම් දෙන්නේ කුමන නීතිමය පදනමක් මත ද යන්නයි.
මෙහිදී විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ දැඩි ලෙස කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්රියාකලාපය තුළින් මෙම සිද්ධිය හුදෙක් නාටකයක් බව ඉතා පැහැදිලි වන බවයි.
එමෙන්ම, සී.අයි.ඩී. ආයතනයේ සැබෑ උත්සාහය වී ඇත්තේ මෙම අපරාධයට කිසිදු සම්බන්ධයක් නොමැති අනුරාධපුර මූලස්ථාන පොලීසියේ හිටපු නිලධාරීන් කණ්ඩායමක් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම බවට ද ඔහු දැඩි චෝදනා එල්ල කළා.
මෙහිදී මහෙස්ත්රාත්වරයා සඳහන් කළේ අදාළ මානසික වෛද්ය වාර්තාව ලැබීමෙන් අනතුරුව, සැකකරුට සැබවින්ම ස්වයං පාපොච්චාරණයක් කිරීමට අවශ්ය නම් ඊට අධිකරණය අවසර ලබා දෙන්නේද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවයි.
ඒ අනුව, සැකකරු එළඹෙන ඔක්තෝබර් 26 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්රාත්වරයා නියෝග කළා.
මේ අතර, හිටපු විශේෂ බළකා සෙබළ ‘එස්.එෆ්. ලොක්කා’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැක කරන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ හිටපු උසස් පොලිස් නිලධාරියෙකුට, උප පොලිස් පරීක්ෂකවරයෙකුට, සැරයන්වරයෙකුට සහ අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රීවරයෙකුට මෙරටින් විදෙස්ගත වීම සම්පූර්ණයෙන්ම වළක්වමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවා.
අනුරාධපුර දහයියාගම දුම්රිය හරස් මාර්ගය අසලදී ශ්රී ලංකා යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළ ඉරෝන් රණසිංහ හෙවත් ‘එස්.එෆ්. ලොක්කා’ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී 2020 වසරේ අගෝස්තු 5 වැනි දින මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණි. ගිනස් වාර්තාලාභී කරාටේ ශුරයෙකු වන වසන්ත සොයිසා ඝාතනය කිරීම ඇතුළු බරපතල අපරාධ නඩු රැසක ප්රධාන සැකකරු ලෙස ද එස්.එෆ්. ලොක්කා නම් කර තිබීම විශේෂත්වයකි.







Leave a Reply