ශ්රීලංකන් ගුවන් සේවයට එයාර්බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන දැවැන්ත මූල්ය අක්රමිකතා සහ මුදල් විශුද්ධිකරණ (Money Laundering) සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බැවින්, ඉදිරියේදී නීතිපතිවරයා හරහා අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (14) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ දැනුම් දුන්නා.
සී.අයි.ඩී. නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා, අදාළ නඩුව එළඹෙන නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට දින නියම කළා.
එදිනට මෙම සිද්ධියේ 4 වැනි සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා වෙනත් නඩුවකට අදාළව බන්ධනාගාරගතව සිටින්නේ නම්, ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කෙරුණා. මෙම එයාර්බස් නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතාව රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.
කපිල චන්ද්රසේනගේ මරණ සහතිකය තවම නෑ – අනික් සැකකරුවන්ට රතු නිවේදන!
මේ අතර, මෙම මූල්ය අක්රමිකතාවේ පළමුවැනි සැකකරු වන ශ්රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතා මියගොස් ඇති බව විත්තියේ නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබුණ ද, ඒ සම්බන්ධයෙන් වන නිල මරණ සහතිකය තවමත් විමර්ශන නිලධාරීන් වෙත ලැබී නොමැති බව සී.අයි.ඩී.ය අධිකරණයට දැනුම් දුන්නා.
එමෙන්ම, මෙම ජාවාරමේ දෙවන සැකකාරිය වන කපිල චන්ද්රසේනගේ බිරිඳ වන ප්රියංකා නියෝමාලි සහ ශාමින්ද්ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්යන්තර පොලිසිය (Interpol) ඔස්සේ රතු නිවේදන (Red Notices) ලබාගෙන ඇති බවත්, ඒ ඔස්සේ ඉදිරි නීතිමය ක්රියාමාර්ග ගනිමින් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් කොටුව මහේස්ත්රාත් අධිකරණයට වැඩිදුරටත් වාර්තා කර සිටියා.







Leave a Reply