ලොව ප්රමුඛ පෙළේ ප්රසිද්ධ ඡායාරූප සහ දෘශ්ය අන්තර්ගත (Visual Content) සැපයුම්කාර සමාගමක් වන ‘Getty Images’ සමාගම, කෘත්රිම බුද්ධිය (AI) හරහා නිර්මාණය වන රූපවලින් එල්ල වන දැවැන්ත තරඟකාරීත්වය සහ අධික ණය බර හමුවේ සිය බංකොළොත්භාවය ප්රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව ඇමෙරිකානු බංකොළොත් නීතියේ ‘Chapter 11’ ප්රතිපාදන යටතේ යළි පෞද්ගලික සමාගමක් (Private Company) බවට පත්වීමට Getty Images සමාගම තීරණය කර ඇති බව නිල වශයෙන් නිවේදනය කෙරුණා.
මෙම වසර අවසන් වීමට ප්රථම අවසන් කිරීමට අපේක්ෂිත පුනර්ව්යුහගත කිරීමේ විශේෂ ගිවිසුමකින් අනතුරුව මෙම පියවර ගැනීමට නියමිතයි. සිය ප්රතිවාදී සමාගම වන Shutterstock ආයතනය සමඟ කිරීමට සැලසුම් කර තිබූ ඒකාබද්ධ වීමේ (Merger) සාකච්ඡා සම්පූර්ණයෙන්ම බිඳවැටීමත් සමඟ Getty Images සමාගම මෙම තීරණාත්මක පියවරට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.
සමාගමේ මූල්ය වාර්තාවලට අනුව, ඉකුත් ජූනි 30 වන විට එහි මුළු ණය ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
2022 වසරේදී විශේෂ අරමුණු අත්පත් කරගැනීමේ සමාගමක් (SPAC) හරහා ඩොලර් බිලියන 4.8ක දැවැන්ත වටිනාකමකින් යුතුව Getty Images සමාගම යළි කොටස් වෙළඳපොළට පිවිසිය ද, එදින සිට මේ දක්වා එහි කොටස්වල වටිනාකම 99%කින් පමණ අතිශය ශෝචනීය ලෙස පහළ බැස තිබෙනවා.
මෙම දැඩි මූල්ය කඩා වැටීම හේතුවෙන් ඉකුත් සැප්තැම්බර් මස අවසානයේදී නිව්යෝක් කොටස් හුවමාරුව (NYSE) මගින් සමාගම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ (Delisting) නීතිමය කටයුතු ද ආරම්භ කරනු ලැබුවා.
මෙම පුනර්ව්යුහගත කිරීමේ ක්රියාවලිය අවසන් වීමෙන් පසු, Getty පවුලේ ආයතන සහ Koch Equity Development සමාගම විසින් මෙහි 100%ක පූර්ණ හිමිකාරීත්වය අත්පත් කරගැනීමට නියමිතයි. අදාළ ආයෝජකයින් විසින් නව කොටස් වෙනුවෙන් ඩොලර් මිලියන 533ක් ලබා දීමට ද එකඟ වී තිබෙනවා. එමෙන්ම Koch Equity Development වෙතින් ලැබෙන ඩොලර් මිලියන 143ක හදිසි මූල්ය ආධාරය ද මෙම ක්රියාවලියට දැවැන්ත ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ණය බර ලිහිල් කිරීම වෙනුවෙන් සුරක්ෂිත නොකළ බැඳුම්කර හිමියන් ඩොලර් මිලියන 270ක නෝට්ටු ඉවත් කර ගැනීමට එකඟ වී ඇති අතර, සුරක්ෂිත මූල්ය ආයතන විසින් පොලී පිරිවැය අඩු කර ණය ගෙවීමේ කාලසීමාව දීර්ඝ කිරීමට ද එකඟතාව පළ කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම බංකොළොත්භාවය ප්රකාශ කිරීම යටතේ වුවද Getty Images සමාගමේ දෛනික මෙහෙයුම් කටයුතු සාමාන්ය පරිදි සිදුවන බවත්, සිය සැපයුම්කරුවන්ට නියමිත පරිදි මුදල් ගෙවීමට කටයුතු කරන බවත් සමාගම වැඩිදුරටත් තහවුරු කර සිටිනවා.







Leave a Reply