හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (11) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
2023 වසරේදී රනිල් වික්රමසිංහ මහතා සිය බිරිඳගේ උපාධි ප්රදානෝත්සවයට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියේ සංචාරය කළ අවස්ථාවේදී රුපියල් මිලියන 16.6කට අධික රජයේ මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම නඩුව ගොනුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අවසන් කර, ඊට අදාළ විමර්ශන ගොනු සහ ලේඛන නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති ලේකම්වරයා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නීතිපතිවරයාගේ උපදෙස් සහ ඉදිරි නීතිමය ක්රියාමාර්ග පිළිබඳ කරුණු විමසීම සඳහා නඩුව අද දිනයේ යළි කැඳවීමට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබුණා.
ඒ අනුව, අදාළ නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය සහ ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) දිනයේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.







Leave a Reply