Loading...

නව ක්‍රිකට් පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව ක්‍රිකට් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානී, නීතිඥ ආචාර්ය චානක සේනානායක මහතා විසින් අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

යෝජිත පනත් කෙටුම්පතේ පවතින ඇතැම් අසාධාරණ ප්‍රතිපාදන හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට දැඩි අගතියක් සිදුවන බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

පෙත්සම මගින් කරුණු දක්වමින් ඔහු සඳහන් කරන්නේ, පනත් කෙටුම්පතේ 32 වන වගන්තිය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් මහා සභා රැස්වීම්වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ හිමිකම ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩයේ ක්‍රීඩා සමාජවලට මෙන්ම පළාත් ක්‍රිකට් සංගම්වලට පමණක් සීමාකර ඇති බවයි.

මේ හරහා සමස්ත ඡන්ද බලය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පවතින බවත්, බස්නාහිර පළාතෙන් බැහැර සෙසු දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වලට හිමිවිය යුතු සාධාරණ ඡන්ද අයිතිය සම්පූර්ණයෙන්ම අහිමි වී යන බවත් පෙත්සම්කරු මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අනාවරණය කර තිබෙනවා.

ඊට අමතරව, පනත් කෙටුම්පතේ 28 වන වගන්තිය මගින් ජනාධිපතිවරයා ක්‍රිකට් ආයතනයේ ‘අනුශාසක’ ලෙස පත්කර ඇති අතර, 22 වන වගන්තිය යටතේ ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලයට ස්වාධීන අධ්‍යක්ෂවරුන් තෝරාගන්නා මණ්ඩලයේ සාමාජිකයින් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා නිල බලයෙන් පත්කිරීමට යෝජනා කර ඇති බව සඳහන්.

මෙවැනි දේශපාලනික හා රාජ්‍ය මැදිහත්වීම් සහිත ප්‍රතිපාදන මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ පවතින ස්වාධීනත්වය බරපතල ලෙස අහෝසි වන බවත්, එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති ‘නීතිය ඉදිරියේ සැමට සමාන සැලකිලි ලැබීමේ’ මූලික මිනිස් අයිතිවාසිකම උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

ඒ අනුව, අදාළ ප්‍රශ්නගත වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට ප්‍රකාශ කරන ලෙසත්, මෙම කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හෝ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *