Loading...

තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් පළ කළ වීඩියෝවක් ගැන පොලිසියෙන් පුළුල් විමර්ශනයක්

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර සිට කොළඹ දක්වා පැවැත්වෙන පාගමනට සහාය දැක්වූ පුද්ගලයෙකුට පිරිසක් විසින් හෙල්මටයකින් පහර දුන් බවට සඳහන් කරමින් තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද වීඩියෝවක් සම්බන්ධයෙන් වීරගුල පොලිසිය විසින් විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීම ඊයේ (14) දින වීරගුල පොලිස් වසමේදී සිදුව ඇති බව පොලිසිය තහවුරු කළ අතර, අදාළ වීඩියෝව සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වීරගුල පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා අදාළ පාගමනට කිසිදු සම්බන්ධයක් නැති අයෙකු බවයි. ඔහු පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී ඇති වූ හදිසි රථවාහන තදබදයක් හේතුවෙන් මෙම අනපේක්ෂිත ගැටුම හටගෙන තිබේ.

වීදියවත්ත දේවාලය ඉදිරිපිටදී ඇති වූ රථවාහන තදබදය අතරතුර, අදාළ ලොරි රථයේ ගමන් කළ පුද්ගලයා සහ යතුරුපැදිකරුවෙකු අතර බහින්බස්වීමක් හටගෙන ඇති අතර, එය දුරදිග යාමෙන් යතුරුපැදිකරු විසින් හෙල්මටයකින් පහරදීම සිදු කර ඇති බව තුවාලකරු ලබා දුන් ප්‍රකාශයෙන් අනාවරණය වී තිබේ.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ ලොරි රථයේ ගමන් කළ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු ද ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පෙන්වා දෙන්නේ, කිසිදු සම්බන්ධයක් නොමැති මෙම සාමාන්‍ය රථවාහන ආරවුලක්, සිරගතව සිටින ඥානසාර හිමියන් නිදහස් කිරීමේ පාගමනට එල්ල වූ ප්‍රහාරයක් ලෙස වරදවා හඟවමින් තුවාල ලැබූ පුද්ගලයාගේ තුවාල පෙන්වන වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවයි.

මහජන නොසන්සුන්තාවක් හෝ සමාජයේ අනවශ්‍ය කැළඹීමක් ඇති කළ හැකි මෙවැනි අසත්‍ය හා තහවුරු නොකළ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමු කර ඇති බව වීරගුල පොලිසිය දැනුම් දී සිටී.

එබැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි වීඩියෝ සහ තොරතුරු වල සත්‍යතාව තහවුරු කරගැනීමකින් තොරව කිසිවිටෙකත් බෙදාහැරීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් තරයේ ඉල්ලා සිටියි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *