Loading...

ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා දළදා සමිඳුන් අභියසින් දැවැන්ත පාගමනක් ආරම්භ වෙයි

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ වහා නිදහස් කරගැනීම උදෙසා මහා සංඝරත්නය පෙරටු කරගත් දැවැන්ත අධිෂ්ඨාන පාගමනක් අද (10) පූර්වාහ්නයේ මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ වී තිබෙනවා.

පාගමන ආරම්භ කිරීමට ප්‍රථමයෙන් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් විශේෂ ආශිර්වාද සත්‍ය ක්‍රියාවක් ද පවත්වනු ලැබුවා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, වත්මන් රජය විසින් අත්තනෝමතික සහ පළිගැනීමේ පදනමකින් ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලබන මෙම නීති විරෝධී ක්‍රියාමාර්ගය තරයේ හෙළා දකින බවයි.

අතීතයේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ජාතියේ, රටේ සහ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් නිර්භීතව හඬ අවදි කළා සේම, ඥානසාර හිමියන් ද අභියෝග හමුවේ හඬ නැඟුවේ සමස්ත රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියත් වෙනුවෙන් පමණක් බව උන්වහන්සේ මෙහිදී මතක් කර දුන්නා.

ඥානසාර හිමියන් සිරගත කරනු ලැබුවේ උන්වහන්සේගේ කිසිදු පෞද්ගලික කාරණයක් වෙනුවෙන් නොවන බවත්, උන්වහන්සේ අද සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනයේ අනාගතය වෙනුවෙන් බවත් පැවසූ උලපනේ සුමංගල හිමියන්, උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව වෙනුවෙන් පෙනී සිටීම සිව්වනක් පිරිසේම පරම වගකීමක් බවයි අවධාරණය කළේ.

ශ්‍රී දළදා සමිඳුන් අභියසින් සහ වාරියපොළ සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අභියසින් ආරම්භ වූ මෙම විශේෂ අධිෂ්ඨාන පාගමන, ඥානසාර හිමියන් සිරගත කර සිටින බන්ධනාගාරය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

ඥානසාර හිමියන්ට පූර්ණ නිදහස ලැබෙන තෙක් සහ මෙම අසාධාරණ ක්‍රියාකලාපයට එරෙහිව ආරම්භ කළ අරගලය කිසිසේත්ම අත් නොහරින බවත්, පවතින රාජ්‍ය මර්දනය හමුවේ අහිංසාවාදීව සහ නීත්‍යානුකූලව මෙම පාගමනට එක්වන ලෙසත් පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ සමස්ත සිංහල බෞද්ධ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *