ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාව තුළ පවතින ඉරාන නෞකාවලට සම්බන්ධව පැන නැගී ඇති තීරණාත්මක තත්ත්වය හමුවේ, රජය ඕනෑම තීරණයක් ගනු ලබන්නේ සමස්ත රටේ සහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව පමණක් මුලිකව සලකා බලමින් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ උණුසුම් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ඇති ඉරාන නෞකා සඳහා යම් හෙයකින් පහසුකම් සැපයීමට කටයුතු කළහොත්, ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි සම්බාධක එල්ල විය හැකි බවට මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් රජයට දැඩි ලෙස අනතුරු අඟවා ඇති බව ඇමෙරිකාවේ ප්‍රකට “ද වෝල් ස්ට්‍රීට් ජර්නල්” (The Wall Street Journal) පුවත්පත මීට පෙර අනාවරණය කර තිබුණා.
ඇමෙරිකානු බලධාරීන් විසින් පසුගිය සති කිහිපය පුරාම මෙරට රජයෙන් මෙම ඉල්ලීම සෘජුවම සිදුකර ඇති බවයි අදාළ පුවත්පත් වාර්තාවේ සඳහන් වූයේ.
ඇමෙරිකානු අවහිරකිරීම් හේතුවෙන් දින ගණනාවක් පුරා මහමුහුදේ අසරණව කොටුවී ඇති මෙම ඉරාන නෞකාවල සිටින පිරිස් විසින් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉල්ලා ඉතා දුක්බර ලෙස මානුෂීය ඉල්ලීම් සිදුකරමින් සිටින බව ද වාර්තා වනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජයේ නිල අනුමැතියකින් තොරව එම නෞකා වෙත කිසිදු සේවාවක් හෝ සැපයුමක් ලබාදීමට නොහැකි බවයි මෙරට නැව් නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ.
මෙම සංකීර්ණ සහ භූ-දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ, පසුගිය දරුණුතම යුද සමයේදී පවා රජය තීන්දු තීරණ ගනු ලැබුවේ කිසිදු බලවත් පාර්ශ්වයකට පක්ෂපාතී නොවී රටේ සහ ජනතාවගේ පරමාධිපත්‍යය හා ආරක්ෂාව සුරක්ෂිත වන පරිදි බවයි.
එදා විදෙස් බලවතුන් දෙපාර්ශ්වයම මෙරටින් විවිධ පහසුකම් ඉල්ලා සිටිය ද, රජය කිසිදු පාර්ශ්වයකට පක්ෂපාතී නොවී මානුෂීය පදනමින් පමණක් සීමිතව මැදිහත් වූ බවත්, මෙම ඉරාන නැව් අර්බුදයේදී ද ක්‍රියාත්මක වන්නේ එම නොසැලෙන විදේශ ප්‍රතිපත්තිය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
“අපේ අනන්‍ය මුහුදු සීමාව තුළ නාවික සැතපුම් 12ක සීමාව තුළ නැහැ. එතකොට ජාත්‍යන්තර මුහුදේ ඉන්දියානු සාගරයේ මේ නැව් ඕන තරම් පවතිනවා. අනික මේ වෙලාවේ යුදමය තත්ත්වයක් පවතිනකොට, හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව විවිධ ප්‍රශ්න මතුවෙනකොට මෙවැනි යාත්‍රා හැම පැත්තෙම ඒවා තියෙන්න පුළුවන්කමක් තියෙනවා.
මේ නිවේදන නිකුත් කරලා තියෙන්නේ අපිට විශේෂයක් කරලා නෙමෙයි. මෙවැනි අවස්ථාවකදි අමෙරිකා එක්සත් ජනපදයත් මේ යුද්ධයේ එක පාර්ශ්වයක් නියෝජනය කරනවා. එතකොට රටක් හැටියට ඔවුන්ගේ මතය ඉදිරිපත් කරනවා ලෝකයේ ඕනෑම රටකට මේ වගේ ද්විතීක සම්බාධක පැනවෙන්න පුළුවන් මෙහෙම සැපයුමක් කළොත් කියන එක.
මම හිතන්නේ අපි ඒ ගැන සැලකිලිමත් වෙන්නත් ඕනේ. කෙසේ නමුත් අපි තීන්දු ගන්නේ අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව සිතමින්. අපි මීට වඩා අමාරු වෙලාවක, යුද්ධයේ දරුණුතම වෙලාවෙදිත් අපි ඉතාම දූරදර්ශී තීන්දු ලබා ගත්තා අපි එක පැත්තකටවත් පක්ෂපාතී වුණේ නෑ, කාටවත් එහෙම අමතර පහසුකම් සලසන්න ගියේ නෑ.
දෙපාර්ශ්වයම අපෙන් පහසුකම් ඉල්ලා තිබුණා හැබැයි අපි ඉතාම මානුෂීය පදනමේන් ඒ ප්‍රශ්නයට මැදිහත් වෙලා යුද්ධයට සම්බන්ධ කොයි පාර්ශ්වය වුණත් ජීවිත ආරක්ෂා කරගන්නා ආකාරයට තමයි ජනාධිපතිතුමා සහ රජයේ මැදිහත්වීම සිදුවුණේ.
ඒ නිසා මේකෙදිත් අපි අපේ රටේ ආරක්ෂාව ගැන හිතනවා, අපේ රටේ ජනතාව ගැන හිතනවා ඒ අනුව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපිට කියපු එකක් නෙමෙයි ලෝකේ හැමෝටම කිව්වා මෙහෙම වුණොත් එහෙම ද්විතීක සම්බාධක දානවා කියලා ඉතිං අපිත් ඒ ගැන සැලකිලිමත් වෙන එක හොඳයි.”







Leave a Reply