අමෙරිකාවේ පෙන්සිල්වේනියා (Pennsylvania) ප්‍රාන්තයේ ‘ඊරි’ (Erie) නගරයේ නිවසක සිදු වූ අතිශය ම්ලේච්ඡ වෙඩි තැබීමේ ඛේදවාචකයකින් ගැබිනි කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම බිහිසුණු වෙඩි තැබීම සිදු කළ ප්‍රහාරකයා ද වෙඩි තැබීමෙන් පසු සියදිවි හානිකරගෙන ඇති බවයි.
මෙම ප්‍රහාරයෙන් මියගිය පිරිස අතර එකම පවුලේ සාමාජිකයන් 7 දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ හිතවත් කාන්තාවක් ද වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
පළමුව නිවස තුළ සිටි පිරිස ඉලක්ක කරගනිමින් සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, අනතුරුව ජීවිත බේරාගැනීම සඳහා උපකාර ඉල්ලා අසල්වැසි නිවසක් දෙසට දිවගිය කාන්තාවන් දෙදෙනා පසුපස හඹා ගොස් නිවසින් පිටතදී ද ඔහු විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඉන්පසු යළි නිවස තුළට ඇතුළු වූ 45 හැවිරිදි සැකකරු තමාටම වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි අමෙරිකානු පොලීසිය සඳහන් කළේ.
අමෙරිකානු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් නවීන රොබෝ යන්ත්‍රයක් (Robot) යොදාගනිමින් අදාළ නිවස පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මෙම මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
මෙම දැවැන්ත සමූහ ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති වුවද, සැකකරුගේ දැඩි මානසික අසමතුලිතතාවක් හෝ පෞද්ගලික ආරවුලක් මෙම අපරාධයට මුල් වන්නට ඇති බවට පොලීසිය දැඩි සැක පළ කරනවා.







Leave a Reply