Loading...

අභිජනනය කළ යුතු කරදිය විසිතුරු මත්ස්‍ය අභිජනනාගාරය.

රජය විසින් ආරම්භ කරන ලද විදේශීය වෙළද පළ ඉලක්ක කර ගනිමින් “කරදිය විසිතුරු මසුන් අභිජනන” කිරීම සදහා වූ හලාවත – බංගදෙණිය,කුසල ප්‍රදේශයේ පිහිටුවන ලද අභිජනනාගාරය මේ වන විට පුද්ගලික අංශයේ බුදලයක් බවට බවට පත්ව ඇත.

බංගදෙණිය කුසල ප්‍රදේශයේ  මත්ස්‍ය අභිජනනාගාර 02 ක් පිහිටුවා ඇත.ඉන් එක් අභිජනනාගාරයක සිදු විය යුතු වන්නේ “කරදිය විසිතුරු මත්ස්‍යයින්” අභිජනනය කිරීමය.අනෙක් අභිජනනාගාරය තුළ සිදු කිරීමට යෝජිතව ඇත්තේ “වේක්කයා” නම් කරදිය මාළුවා අභිජනය කර තෝරා කිවුල් දිය සහිත (කලපු) ස්ථාන වලට මුදා හැරීමය.මෙම අභිජනනාගාර දෙකෙන් වේක්කයා අභිජනනාගාරය තුළ යම් තරමින් කිසියම් කටයුත්තක් සිදු වන බව සත්‍යයකි. නමුත් කරදිය විසිතුරු මසුන් නිෂ්දානය කිරීම සදහා යැයි පවසා ආරම්භ කර ඇති අභිජනනාගාරය තුළ නම් සිදු වන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ කටයුත්තකි.

මේ වන විට අප රට තුළ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරත වන 25,000 කට වැඩි පිරිසක් සිටිති.ඔවුන් කරදිය සහ මිරිදිය ලෙස වෙන් කළ හැක.මිරිදිය විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරත වන පිරිස් විසින් සිදු කරණු ලබන්නේ තෝරා ගත් බිමක පොකුණු සාදා ඒවායේ විසිතුරු මසුන් ඇති කිරීමය.නමුත් කරදිය විසිතුරු මසුන්ගේ කටයුත්ත ඊට වඩා වෙනස්ය.ඔවුන් මුහුදේ කිමිදී විසිතුරු මසුන් අල්ලා ගැනීම සිදු කරයි.ඒ සදහා විශාල වෙහෙසක් මෙන්ම අවදානමක්ද ගත යුතුව ඇත.

විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරතවන පිරිස් සදහා ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් විශේෂිත නේවාසික පුහුණුවක්ද ලබා දීම සිදු කරයි.මෙම පිරිසෙන් වැඩි දෙනෙකු විසින් විසිතුරු මසුන් නිෂ්පාදනය කරණු ලබන්නේ විදේශ වෙළද පල ඉලක්ක කර ගනිමින් වීම ඊට හේතුවයි . ගුණාත්මකතත්ත්වයෙන් වැඩි විසිතුරු මසුන් නිෂ්පාදනය කිරීමට ව්‍යාපාරිකයින් පෙළඹවීම එහි අරමුණ බවද කියති.විදෙස් රටවල් වලින් අප රටේ නිෂ්පාදනය කරන විසිතුරු මසුන් සදහා විශාල ඉල්ලුමක් ඇති බව එම කර්මාන්තයේ නිරත වන පිරිස් කියා සිටී.නමුත් ඉල්ලුමේ තරමට සැපයීම සිදු කරන්නේ 5 % ක් පමණ වන සුළු ප්‍රමාණයක් බවද ඔවුන් කියා සිටී.

ඒ අතරින් මුහුදේ කිමිදී අල්ලා ගන්නා කරදිය විසිතුරු මසුන්ට ඇත්තේ ඉහළ ඉල්ලුමකි.ඒ නිසාම කර්මාන්තය මෙරටට ඩොලර් ගෙන එන උල්පතක් බවට පත්ව ඇත.නමුත් අවාසනාව ඒ බව තේරුම් නොගත් නිලධාරීන් තවමත් අපේ රටේ සිටින නිසාය.

බංගදෙණිය – කුසල ප්‍රදේශයේ කරදිය විසිතුරු මත්ස්‍ය අභිජනනාගරයක් ඉදිකිරීම් ආරම්භ වන්නේ 2018 මාර්තු මාසයේ 19 වැනිදාය.ධීවර අමාත්‍යාංශය විසින් මෙම අභිජනනාගාරය සදහා රුපියල් 203,110,288.95 ක මුදලක් වැය කර ඇති බව ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමේදී අනාවරණය විය.

බංගදෙණිය – කුසල පිහිටි විසිතුරු මත්ස්‍ය අභිජනනාගරයේ වත්මන් තත්ත්වය පිළිබද මෙම ලියුම්කරු විසින් ඉකුත් ජුනි මස 05 වැනිදා ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය වෙත අයදුම්පත් යොමු කරන ලදි.අවස්ථා කීපයකදී හුවමාරු වූ ලිපි වලින් අනතුරුව ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ තොරතුරු නිලධාරී ඩබ්.එම්.අයි.කේ.වීරසේකර මහතා විසින් අදාල තොරතුරු මෙම ලියුම්කරු වෙත එවා ඇත.

මෙරට සිටින විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරිකයින් අපනයනය සදහා අවශ්‍ය කරදිය මසුන් ලබා ගැනීම සිදු කරන්නේ ශ්‍රී ලංකාව අවට ඇති මුහුදු තීරයෙනි. විශේෂයෙන්ම ගල් පර අතර සිටින විසිතුරු මත්ස්‍ය විශේෂ ඔවුන්ගේ ඉල්ලකය වී ඇත.නමුත් වර්තමානය වන විට ප්‍රමාණවත් තරම් විසිතුරු මසුන් ප්‍රමාණයක් මුහුදෙන් අල්ලා ගැනීමට නොහැකි බවක් දක්නට ඇත.එම නිසා බංගදෙණිය – කුසල අභිජනනාගාරය ආරම්භ කිරීමට ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත.

එම තොරතුරු වලට අනුව මෙම කරදිය මත්ස්‍ය අභිජනනාගාරයේ ඉදිකිරීම් 2022 මාර්තු මස 22 වැනිදා අවසන් කර ඇත.රාජ්‍ය මැදිහත් වීම මත දේශීය විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවා වෙනුවෙන් මෙම අභිජනනාගාරය ක්‍රියාත්මක වීම අතීත යෝජනාවයි.නමුත් එම අභිජනනාගාරය දැනට ක්‍රියාත්මක වන්නේ පුද්ගලික ආයතනයක් ලෙසිනි.ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ සේවකයින් දෙදෙනෙකුද මේ වන විට එම ස්ථානයේ සේවය කරමින් සිටීන බවද කියති.

එම අභිජනනාගාරය තුළ බදු ලබා ගත් පුද්ගලික අංශය විසින් කරදිය විසිතුරු මසුන් සහ කොරල් විශේෂ අභිජනනය කිරීම සිදු කරන බවද ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ තොරතුරු නිලධාරියා විසින් එවා ඇති ලිපියේ සදහන් වේ.

මෙම අභිජනනාගාරය ආරම්භ කිරීමේ මුලික  අරමුණ දේශීය විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයා නගා සිටුවීම බව වරක් එම ස්ථානයේදීම හිටපු ධීවර ඇමතිවරයෙකු වන මහින්ද අමරවීර මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේය.නමුත් ජල ජීවී වගා සංවර්ධන අධිකාරියට අනුව වර්තමානය වන විට සිදුවී ඇත්තේ ඊට හාත් පසින්ම වෙනත් දෙයකි.මන්ද දේශීය විසිතුරු මත්ස්‍ය ව්‍යාපාරිකයා වෙනුවෙන් ආරම්භ කළ අභිජනනාගාරය පුද්ගලික ආයතනයකට බදු පදනම මත ලබා දී තිබීමය.රජය විසින් විශාල මුදලක් වැය කර පිරිසක් නගා සිටුවීම සදහා ඉදිකරන ලද අභිජනනාගාරය මේ වන විට තනි පුද්ගලයෙකුගේ බූදලයක් වී තිබීම අවාසනාවක් නොවන්නේද?

විසිතුරු මත්ස්‍ය කර්මාන්ත කරුවන් නම් කියා සිටිනේ වෙනත්ම කථාවකි. ඔවුන්ට අනුව මෙම අභිජනනාගාරයේ කිසිදු මත්ස්‍යයෙකු හෝ කොරල් විශේෂෂයක් අභිජනනය කරන්නේ නැත.එසේ අභිජනනය කරන්නේ නම් නිෂ්පාදන තමන් වෙත ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලීමක් කරයි.නමුත් ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු සහ සේවකයෙකු කිසිදු රාජකාරියක් නොකර වැටුප් ලබා ගන්නා බවකි.

රුපියල් කෝටි 2000 කට වැඩි මුදලක් වැය කර ඉදිකරන ලද මෙම අභිජනනාගය මේ ආකාරයට පවත්වා ගෙන යන්නේ කිසියම් පිරිසකගේ හෝ පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය මත නම් එය අනාගත මෙරට කරදිය විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ අවසානය විය හැකි බවද ඔවුන්ගේ අදහස වී ඇත.සිදු කර ඇති වියදම සහ වර්තමානයේ ගෙන යන ක්‍රියාදාමය අනුව අපටද එම අදහස අකමැත්තෙන් වුව අනුමත කිරීමට සිදුවී ඇත.

සටහන – ජූඩ් සමන්ත


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *