අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියව වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තබා තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කළේ, බන්ධනාගාරයේ කාන්තා අංශයේ විශේෂිත ආරක්ෂිත ස්ථානයක ඇයව රඳවා තැබීමට පියවර ගෙන ඇති බවයි.
සිරිලිය සවිය සංවිධානය හරහා රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත CT ස්කෑනර් යන්ත්‍රයක් ලබාදෙන බව පවසමින් රාජ්‍ය බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළවයි ශිරන්ති රාජපක්ෂ මහත්මියව ඊයේ (07) අත්අඩංගුවට ගනු ලැබුවේ.
අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, සැකකාර ශිරන්ති රාජපක්ෂ මහත්මියට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ අධිකරණ නියෝගයෙන් අනතුරුව බන්ධනාගාර බස් රථයකින් ඇයව වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ආ අතර, අදාළ අධිකරණ නියෝගයට අනුව ඉදිරියේදී ඇයට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු සලසන බවයි බන්ධනාගාර පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, මෙම සිද්ධියටම අදාළව අත්අඩංගුවට ගත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය, ඔහුට විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා.







Leave a Reply