Loading...

ශිරන්ති රාජපක්ෂට ඇප

ආන්දෝලනාත්මක ‘සිරිලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා සහ සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව, සැකකාර ශිරන්ති රාජපක්ෂ මහත්මිය රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඇගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගනිමින් විදේශ ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

එමෙන්ම, මෙම සිදුවීමට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන දෙසැම්බර් මස 11 වනදා අධිකරණය හමුවේ වාර්තා කරන ලෙසයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවට අයත් රුපියල් මිලියන 10ක (කෝටියක) මුදලක් අනීතික ලෙස ‘සිරිලිය සවිය’ සංවිධානයේ ගිණුම වෙත ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකළ විමර්ශනවලට අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *