Loading...

මීගමුව බන්ධනාගාරයේ ගැටුමින් නිලධාරීන් ඇතුළු 15ක් මරුට

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇත වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව තවත් 50කට අධික පිරිසක් මේ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි.

මියගිය පිරිස සහ තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාල ද දක්නට ලැබූ බව මීගමුව රෝහලේ ප්‍රකාශකයෙක් කියා සිටියා.

අද (06) උදෑසන රැඳවියන් පිරිසක් සංවිධානාත්මකව එල්ල කළ පහරදීම් හේතුවෙන් බන්ධනාගාරය තුළ යළි නොසන්සුන් තත්ත්වයක් උද්ගත වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ වෙඩි තැබීමටද පියවර ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය වාර්තා වූයේ ඊයේ (05) පස්වරුවේ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමෙන් පසුව මධ්‍යම රාත්‍රිය වන විට තත්ත්වය පාලනය කර තිබූ පසුබිමකදීයි.

කෙටිකාලීන සිරකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් රඳවා සිටින මීගමුව බන්ධනාගාරයේ ඊයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ තොරතුරු පාවාදීමක් මුල්කරගෙන මෙම ගැටුම ආරම්භ වී ඇති බවයි.

ගැටුමෙන් අනතුරුව කාන්තා සහ පිරිමි රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහල මතට නැග විරෝධතාවක නිරත වූ අතර, එහි සිවිලිමේ කොටසක් කඩාවැටීමෙන් රැඳවියන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරිණි.

උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා යුද හමුදාව බන්ධනාගාර පරිශ්‍රය වෙත කැඳවා තිබූ අතර, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ මධ්‍යම රාත්‍රිය වන විට තත්ත්වය පාලනය කළ බවයි.

කෙසේ වෙතත්, අද (06) උදෑසන යළි හටගත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් මරණ සංඛ්‍යාව සහ තුවාලකරුවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *