Loading...

බන්ධනාගාරයෙන් පිටතට රැගෙන එද්දී භික්ෂූන්ට චීවරය දැරීමේ අයිතිය පවතිනවා – අධිකරණ අමාත්‍ය

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ඒමේදී චීවරය පැළඳීමට උන්වහන්සේට පූර්ණ අයිතිය සහ අවසරය හිමිවන බවත්, අදාළ මහා නිකාය පාර්ශ්වයෙන් එසේ නොකරන ලෙස නිල වශයෙන් දන්වන තුරු එම අයිතිය නොසැලී පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කර සිටියේ බන්ධනාගාර ආඥාපනත යටතේ සකස් කරන ලද මෙතෙක් පැවැති පැරණි නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත්කළ විශේෂ කමිටුවේ වාර්තාව පිළිබඳ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි.

එමෙන්ම, බන්ධනාගාර නීති යාවත්කාලීන කිරීමේ කමිටු නිර්දේශයන්ට අනුව, බන්ධනාගාර නිත්‍ය නියෝග ‘356’ වෙනුවට ‘356 (අ)’ ලෙස සංශෝධනය කිරීමටත්, ‘550’ දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය සඳහා විශේෂ අතුරු විධානයක් එක්කිරීමටත් අදාළ විශේෂ කමිටුව විසින් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව, අදාළ විශේෂ කමිටු වාර්තාවේ සඳහන් යෝජනා සහ නිර්දේශවලට අනුකූලව බන්ධනාගාර නිත්‍ය නියෝග වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත උපදෙස් ලබාදුන් බව ද අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

“බන්ධනාගාර නිත්‍ය නියෝග 356 සංශෝධනය කර 356 ‘අ’ ලෙස කොටසකුත්, 550 දෙපාර්තමේන්තු නියෝග සංශෝධනය කිරීම සඳහා අතුරු විධානයක් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව යම් බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී, එම සිරකරු එතෙක් හැද සිටි ස්වකීය ඇඳුම ඉවත්කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දී ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීම සඳහා දින 10ක කාලයක් ලබාදී තිබෙනවා බන්ධනාගාර කොමසාරිස්වරයාට.

වෙනත් ආගමක පූජ්‍ය පක්ෂයේ කෙනෙකු සිරකරුවෙකු වුණොත්, මේ ප්‍රතිපාධන අදාළ ලෙස වෙනස්කරගමින් එයට අදාළ කරගත යුතු වෙනවා.

එමෙන්ම නිත්‍ය නියෝග 550 අලුතින් කොටසක් එකතුවෙලා සංශෝධනයක් එනවා.

ඒ අනුව බෞද්ධ භික්ෂුවක් සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන අවස්ථාවක චීවරය පැළද සිටීමට සම්පූර්ණ අවසරය ලබාදෙනවා. එම අවසරය දිගටම පවතිනවා ස්වාමින් වහන්සේ අයත් නිකායෙන් එසේ නොකරන ලෙසට දැනුම්දීමක් ලැබෙන තුරු.

මේ දෙක තමයි මූලිකවම මේ සංශෝධනයේ හරය වන්නේ. මේ සම්බන්ධයෙන් අතුරු කමිටු වාර්තාවත්, ලිපියත් වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙත යවා තිබෙනවා.

ඒ අනුව දැනට බලාත්මක නිත්‍ය නියෝග සංශෝධනය කර, නිර්දේශවල සඳහන් ආකාරයට බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest