Loading...

ජනපති ලේකම්ගේ තීරණයට මහා සංඝරත්නයේ දැඩි විරෝධය

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි ‘නිදහසේ පාද යාත්‍රාවේ’ මහා සංඝරත්නය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර අද (15) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

මහා සංඝරත්නය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාසයක් ඇතුළත තීරණයක් ගන්නා බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබුණ ද, එම තීරණය සටහන් වූ ජනපති ලේකම්වරයාගේ නිල ප්‍රකාශය රැගෙන ආ නිලධාරියා වෙත උන්වහන්සේලා සිය දැඩි විරෝධය පළ කර සිටියා.

එහිදී මහා සංඝරත්නය අවධාරණය කළේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් පවතින බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දීමට ගතවන කාලය පිළිබඳව නිශ්චිත දිනයක් සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතු නිල ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

කෙසේ වෙතත්, උන්වහන්සේලාගේ මෙම ඉල්ලීමට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිත හෝ සෘජු පිළිතුරක් ලබාදීමට තමන්ට හැකියාවක් නොමැති බවයි.

ජනාධිපති ලේකම්වරයාගේ මෙම ප්‍රකාශයට ද සිය අසන්තෝෂය පළ කළ මහා සංඝරත්නය, තමන් ඉල්ලා සිටින නිශ්චිත නිල ප්‍රකාශය ලැබෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් කිසිසේත්ම ඉවත් නොවී අඛණ්ඩව රැඳී සිටින බවට වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *