Loading...

සිරගත වන භික්ෂූන් නිකායික නිර්දේශ මත චීවරය පිටින්ම පිටතට රැගෙන යාමට නව රෙගුලාසි සති 2ක් තුළ

සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය පදනම් කරගනිමින්, උන්වහන්සේලා චීවරය සහිතවම බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යාමට හැකි වන පරිදි නව නීතිමය රෙගුලාසි ඉදිරි සති දෙක ඇතුළත සම්මත කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිල වශයෙන් නිවේදනය කරනවා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීම පාදක කරගනිමින්, සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් දැනට අනුගමනය කරන ක්‍රියාපටිපාටිය ගැන ත්‍රෛනිකායික මහනායක මාහිමිපාණන් වහන්සේලා විසින් බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමුකළ ලිපියකට අනුව, පසුගිය 08 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහා සංඝරත්නය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, වර්තමාන බන්ධනාගාර පද්ධතිය පාලනය වන 1877 බන්ධනාගාර ආඥා පනත සහ ඊට අදාළ රෙගුලාසි තුළ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වෙනම විශේෂ විධිවිධාන සකස් වී නොමැති බවත්, පවතින නීති රාමුව තුළ නිලධාරීන් කටයුතු කර ඇති බවත්ය.

පවතින නීතිය අභිභවා තනි පුද්ගලයන් වෙනුවෙන් හිතුමනාපයට නියෝග දීමට තමන් සූදානම් නොමැති බවත්, කළ යුත්තේ එකී නීතිය වර්තමානයට අනුරූප වන පරිදි කඩිනමින් සංශෝධනය කිරීම බවත් ජනාධිපතිවරයා එහිදී පැහැදිලි කර සිටියා.

මෙහිදී මහා සංඝරත්නය නියෝජනය කරමින් අනුනායක හිමිවරුන් සහ ලේඛකාධිකාරී හිමිවරුන් යෝජනා කළේ, යම් භික්ෂූන් වහන්සේ නමක් වසර 03කට අධික කාලයකට සිරගත වන අවස්ථාවලදී අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ අදහස් විමසා, එම නිර්දේශ මත උන්වහන්සේලා චීවරය සහිතවම බැහැරට රැගෙන යාමට හැකි වන පරිදි නීති සම්පාදනය කිරීම සුදුසු බවයි.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කෙරුණු අතර, එම කමිටුව පසුගිය 09 වනදා රැස්වී අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ සහිතව කටයුතු ආරම්භ කර තිබෙනවා.

අදාළ කමිටු යෝජනා එළඹෙන සතියේ මැද භාගය වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කර, ඉදිරි සති දෙක තුළ නව රෙගුලාසි සම්මත කර ගැනීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *