Loading...

ඡන්දය අයිතියක්ම නොවූ, රටට විදේස් විනිමය ගෙනෙන ඔවුන්…

මේ කතාව කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරන සේවකයන් ගැන. රටට විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රැගෙන ඒමට දායක වන ඔවුන් එම ජීවිතය තුළ මුහුණ දෙන විවිධ ගැටළු අතරින් තවත් එක් සුවිශේෂි ගැටලුවක් වන්නේ ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව වක්‍රාකාරව අහිමි වී ඇති තත්ත්වයයි.

මේ සඳහා ඔවුන්ට බලපාන කරුණු රාශියක් හඳුනාගත හැක. එනම් ඡන්ද ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඇති අයිතිය ඇහිරීමට වක්‍රාකාරව බලපාන විවිධ හේතු සාධක ඔවුන්ගේ ජීවන වෘත්තිය තුළින්ම පැන නැගී ඇති.

ඇතැම්විට ඔවුන්ට ප්‍රමාණවත් නිවාඩු ලැබෙන්නේ ද නැත. එනම් ඡන්දය ප්‍රකාශ කර නැවත සේවස්ථානයට පැමිණීමට තරම් ප්‍රමාණවත් කාලයක් ඔවුනට ලැබෙන්නේද නැත. ලැබෙන කාලයට සාපේක්ෂව ද ඔවුන් අතිරේක දිනයක් සේවය කළ යුතුව ඇත.

තවත් ගැටළුවක් වන්නේ ඔවුන්ට ලැබෙන ආදායමට සාපේක්ෂව දුර බැහැර ගොස් නැවත පැමිණීමට යන වියදමයි. එම වියදම දරා ගැනීමට තරම් ඔවුන් ගේ ආර්ථිකය ශක්තිමත් වී නැත. ඔවුන්ට ලැබෙන වැටුපට සාපේක්ෂව ඡන්දය ප්‍රකාශ කොට නැවත පැමිණීමට වැයවන මුදල ඔවුන් ගේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නෙ නැත. තවද එම කාලය තුල ද සේවය කර ඔවුන් හට අතිකාල දීමනා තුළින් ලැබෙන මුදල ලබා ගැනීමට එම ආර්ථික තත්ත්වය විසින්ම ඔවුන් පත්කර ඇත.

යම්කිසි ලෙසකින් වුන් එලෙස ඡන්දය ප්‍රකාශ කරවීමට ගොස් නැවත පැමිණීමේ දී එක් දිනක් හෝ ප්‍රමාද වුවහොත් එමගින් ඔවුන්ට ලැබිය යුතු සියලු දීමනා මෙන්ම මූලික වැටුපෙන් කොටසක් පවා අහිමි වන තත්ත්වයක් ඇති වෙයි. කිසිවිටකත් ඔවුන් එම භයානක අත්දැකීමට මුහුණ දීමට සිතන්නේවත් නැත.

ආසන්නව තිස්දහසක පමණ පිරිසක් සේවයේ යෙදෙන මෙම ආයෝජන කලාපයේ සේවකයන් හට විශේෂ ප්‍රවාහන පහසුකම් හෝ සලසා ඇති බවක් නිරීක්ෂණය වන්නේ නැත. ජීවිතේ එක් වරක් හෝ ඡන්දෙ භාවිතා කර නොමැති මෙන්ම, ආයෝජන කලාපයේ සේවයට පැමිණි පසු එක් වතාවක් හෝ ඡන්දය භාවිතා නොකල විශාල පිරිසක් මෙම කලාපයේ සිය ජීවිකාව කරමින් සිටියි. ස්ථිර ලිපිනයක් නොමැතිව තාවකාලික ලිපිනවල දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටීමද නිසා ඇතමෙක් ඡන්ද ලියාපදිංචිය හෝ ලබා නැත.

ඔවුන් හට ලැබිය යුතු ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට නම් වඩා සුදුසු ක්‍රමය වන්නේ මෙම ආයෝජන කලාප භූමියේ දී ම ඡන්දය ප්‍රකාශ කළ හැකි ක්‍රමයක් ඔවුන් හට හඳුන්වාදීමයි. එමගින් ඔවුන් හට මූල්‍යමය බාධාවකින් තොරව මෙන්ම, නිවාඩු ගැටලු වැනි වෙනත් බාධා වලින් තොරව තම ජන මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසේ.

විදෙස් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් හට ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීමට කටයුතු කිරීමට සාකච්ඡාවක් පවතින මේ මොහොතේ අප රට තුළ ජීවත් වන මෙවැනි පිරිස් හට අපහසුතාවයකින් හෝ බාධාවකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලස්වා දීම ප්‍රමුඛ කාර්යයක් සේ සැලකිය යුතු යැයි SLVLOG අපි යෝජනා කරයි.

ඔවුන්ගේ ගැටලු පිළිබඳව SLVLOG අප විසින් කළ වීඩියෝවක් පහතින් නරඹන්න…


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *