කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම පිළිබඳව මෙරට බොහෝ තානාපති කාර්යාලයවල විශේෂ අවධානය යොමු කර ඇති බව වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එම සිද්ධීන් පිළිබඳව තානාපති කාර්යාල කිහිපයක් පසුගිය දිනවල විශේෂ තොරතුරු සොයා බැලීමක් කර ඇති බවයි.
මේ අතර චමින්ද කුලරත්න මහතා සතුව පවතින සිද්ධීන්වලට අදාළ සාක්ෂි ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව පිළිබඳව තානාපති කාර්යාල අවධානය යොමු කර ඇති බව වාර්තා වනවා.
කථානායකවරයාට එරෙහිව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පසුගිය සිකුරාදා විමර්ශන ආරම්භ කෙරුණා.
එම සිද්ධීන්වල චෝදනා තහවුරු කර ගැනීම සඳහා අදාළ ලියකියවිලි පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ලබා ගැනීමට අල්ලස් කොමිසම මේ දිනවල කටයුතු කරමින් සිටිනවා.
මේ අතර කථානායකවරයාට එරෙහිව හිටපු නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් අනතුරුව කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන්ගෙන් වාර්තා ගැනීමට උත්සාහ දරා ඇති බව වාර්තා වනවා.
මෙම සිද්ධිය අල්ලස් කොමිසමට කළ බලපෑමක් හෙයින් ඒ පිළිබඳව විමර්ශන පවත්වන ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කර තිබෙනවා.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සේවයෙන් ඉවත් කිරීමේ තීන්දුවට එරෙහිව චමින්ද කුලරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ අද නඩු පැවරීමට නියමිත බවයි.







Leave a Reply