ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය අද (25) උදෑසන 05.30ට පමණ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වර්ධනය වූ එම පීඩන අවපාතය මඩකලපුවේ සිට කිලෝමීටර් 900ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංග 10.9ත් නැගෙනහිර දේශාංශ 89.0ත් ආශ්‍රිතව ස්ථාන ගත පැවතුණු බවයි.
තවද මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දිශාවට ගමන් කරමින් හෙට (26) දින ගැඹුරු පීඩන අවපාතයක් සහ ලබන 27 වනදා සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වන බවත් පසුව එළැඹෙන පැය 48 තුළදී අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කරනු ඇති අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.
මේ සමඟ උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80-95 අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තෙක් ධීවර සහ නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
තවද මේ වන විටත් එම ප්‍රදේශ ආශ්‍රිතව ධීවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් හැකි ඉක්මණින් ඉවත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ පාර්ශවයන් වෙත දැනුම් දී ඇති බව සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ නැවත දැනුම් දෙන තුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි.
මේ අතර කළු ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව කිහිපයක් සඳහා ඉදිරි පැය 48ක කාලය තුළ සුළු ගංවතුර තත්තවයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කළු ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළදී බුලත්සිංහල, මදුරාවල හා පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ, මගුර ගඟ සහ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
මේ හේතුවෙන් කුඩා ගඟ හා මගුර ගඟ අවට පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතින බවත් මෙම තත්ත්වය සම්බන්ධව සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම ප්‍රදේශවල පදිංචි මහජනතාව සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් මේ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙසයි.
මේ අතර පවතින අධික වර්ෂාපතනය සමඟ කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15ක් පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්.එස්. සූරියබණ්ඩාර මහතා කියා සිටියේ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර ඇති අතර ඉන් තත්ත්පරයට ඝන අඩි 5087ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බවයි.
ඒ අනුව රාජාංගණය, සියඹලන්ගමුව, දැදුරුඔය ජලාශය, බතලගොඩ, හත්වටුනාඔය, යෝධ වැව ආදී ජලාශ ඇතුළු වැව් කිහිපයක් ද වාන් දමන බවද සඳහන් වනවා.








Leave a Reply