Loading...

ශ්‍රී ලංකාවට ණය නොගෙවා ඉන්න වසර 4ක සහන කාලයක්

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ආපසු ගෙවීම 2028 දක්වා අත්හිටුවීමට නිල ණය හිමියන් කණ්ඩායම සමඟ කළ සාකච්ඡා අවසාන අදියරට පැමිණ ඇති බව නික්කේ ඒෂියා වෙබ් අඩවිය වාර්තා කරනවා.

එම වෙබ් අඩවිය සඳහන් කරන්නේ ජපානය ඇතුළු මෙරට ණය හිමියන් ණය බරින් පෙලෙන ශ්‍රී ලංකාව තුළ චීනයේ බලපෑම ව්‍යාප්ත වීම වැළැක්වීමට උත්සහ කරන පසුබිමක මෙම සාකච්ඡා අවසන් වෙමින් පවතින බවයි.

“ණය හිමි රටවල් සමග සිදු කළ සාකච්ඡා අවසන් වෙලා තියෙන්නේ. ඉදිරි සති කිහිපය තුළ ඒ ගැන සවිස්තරාත්මක නිවේදනයක් සිදු වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා” ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක නික්කේ ඒෂියා සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව ණය ආපසු ගෙවීම 2028 සිට 2042 දක්වා වන වසර 15ක කාලය තුළ සිදුවන අතර එය 2%ක නව පොලී අනුපාතයක් යටතේ සිදුවනු ඇති.

තවදුරටත් ණය අඩු කිරීමක් සිදු කරන ලෙසට ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළද එය සිදු නොවන බවද සාගල රත්නායක මහතා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

2022 වසරේ අප්‍රේල් මස සිට ශ්‍රී ලංකාව විසින් විදෙස් ණය ගෙවීම් අත්හිටුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ණය ගෙවීම පැහැර හැරීම සිදු කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනය ණය හිමි රටවල් සමඟ සිදු කරන සාකච්ඡා සඳහා එක්වී ඇත්තේ නිරීක්ෂකයෙකු ලෙස පමණක් වුවද චීනයේ අපනයන ආනයන බැංකුවේ ණය හරහා සිදුවන ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම තීරණය හරහා සමාන එකක් වනු ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීවරයා පෙන්වා දෙනවා.

මේ අතර 2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ හිඟ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.3ක් වූ අතර ඉන් චීනය සතුව ඩොලර් බිලියන 4.7ක් පවතිනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *