Loading...

ජනපතිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 92ක සහයක් ලැබෙයි

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙක් තහවුරු කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදීයි.

නැවත දරුණු අරාජිකත්වයක් හා පෝළිම් යුගයක් ඇති නොවන සමාජ, දේශපාලන ස්ථාවරත්වයක් සහ ආර්ථික සංවර්ධනයක් ඇති ශක්තිමත් රටක් ගොඩනැගිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බැවින් තම පෞද්ගලික දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තමන් අසීරුවෙන් ගොඩනැගූ පක්ෂය රට ගැන නොසිතා සුළුතරයක බලපෑම මත ගනු ලැබූ තීරණය ප්‍රතික්ෂේප කර මෙම තීරණයට එළැඹි බව පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එක්ව සිටි මන්ත්‍රීවරු පෙන්වා දුන් බවයි.

මේ වන විට හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පක්ෂ සාමාජිකත්වය ද තමන් ගත් තීරණය නිවැරදි බව ඔවුන් මෙහිදී සහතික කර ඇති බවද වාර්තා වනවා.

මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවේදී පෙන්වා දී ඇත්තේ රටේ ආර්ථික අස්ථාවර වී, නීතිය හා සාමය කඩ වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහ මඟ ඝාතනය කළ තැනට වැටී තිබූ දෙවසර තුළ ස්ථාවරත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත් එදා ඔහු පිළිබඳ තැබූ විශ්වාසය කඩ නොකිරීම පිළිබඳ ජනාධිපතිවරයාට ස්තුති වන්ත වන බවත්ය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ 2022 වසරේ මේ රට දැවැන්ත දේශපාලන සහ ආර්ථික බිඳ වැටීමකට ලක්වූ අවස්ථාවේ රට ගොඩනැගීමේ වගකීම තමා භාර ගනු ලැබුවේ තනිව නොවන බවත් එදාද රටට ආදරය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමඟ එක්වූ බවත්ය.

එම පිරිස සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව පැවසු ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බව මේ රටේ ජනතාව අද විශ්වාස කරන බවයි.

රට ගොඩනැගීමට තමාට සහාය ලබාදෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් බවද සිහිපත් කළ ජනාධිපතිවරයා එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූතිය පළ කර තිබෙනවා.

ඊයේ (30) රාත්‍රියේ පැවැත්වූ මෙම රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අමාත්‍යවරුන් වන අලී සබ්රි, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක, එස්.එම්. චන්ද්‍රසේන, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රියංකර ජයරත්න, ඩී.බී හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රේමනාත් සී. දොලවත්ත, ජනක වක්කුඹුර, ජෝන් සෙනෙවිරත්න, ඩග්ලස් දේවානන්ද, මධුර විතානගේ, රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දක්වා ඇති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *