Loading...

ක්ෂණික ගංවතුර අවදානමක් – ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

කෙටි කාලයක් තුළ ඉහළ තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බැවින්, ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

විශේෂයෙන්ම ගංගා ආශ්‍රිතව සහ පහත්බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම මාර්ග භාවිත කරන පුද්ගලයින් ද තම ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවා.

ඉදිරි දින කිහිපයේදීත් සැලකිය යුතු තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව ද ඔහු පෙන්වා දෙනවා.

ඒ අනුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන මඟින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

“අද දවසේ ගංගාවල තත්ත්වය සහ වර්ෂාපතනය පිළිබඳ සැලකුවොත්, විශේෂයෙන්ම මේ වන විට පසුගිය පැය 24 තුළ ලැබිච්ච වර්ෂාපතනයන් සැලකීමේදී වැඩිම වර්ෂාපතනය අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලිමීටර් 130 කට ආසන්න ප්‍රමාණයක් දකින්නට තියෙනවා.

අනිත් වර්ෂාපතනය වැඩි ප්‍රදේශ ගතහොත්, විශේෂයෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කයේ ගිං ගඟ සහ නිල්වලා ගඟ, ඒ වගේම කළු ගඟ, කැලණි ගඟ, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්ක. ඒ වගේම කෑගල්ල, මාතලේ සහ නුවර දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවල මිලිමීටර් 50ත් 100ත් අතර වර්ෂාපතනයන් දකින්නට තියෙනවා.

ලංකාවේ අනිත් බොහෝ ප්‍රදේශවලත් ඊයේ දිනයේ සාමාන්‍ය වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. අද දිනයේ පුරෝකථනයන් තියෙන්නෙත් තව තරමක තද වැසි ලැබීමේ පුරෝකථනයක් සමඟ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීමටයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා නිවේදන නිකුත් කරලා තියෙනවා. නිල්වලා ගඟේ පහළ ප්‍රදේශයේ මේ වන විට ජල මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් පැවතියත්, තවමත් සුළු ගංවතුර මට්ටමක පවතිනවා (විශේෂයෙන් අකුරැස්ස, මාලිම්බඩ, කද්දුව ඇතුළු පහළ ප්‍රදේශ).

විශාල වැඩිවීමක් දකින්නට නැහැ. ගිං ගඟ, බද්දේගම සහ එය ආසන්නයේ සුළු ගංවතුර මට්ටමක පවතින අතර, ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. කළු ගඟ, මිල්ලකන්ද සහ කුඩා ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර මට්ටමක පවතින අතර, කළුතරට ආසන්න ස්ථාන කීපයක සුළු වැඩිවීම් තිබුණත් විශාල ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් නැහැ.

කැලණි ගඟ ජල මට්ටම් ඉහළ අගයක පැවතියත් ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමට ආසන්නයේ පවතින නමුත් ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

මහා ඔයේ (බඩල්ගම ආදී ප්‍රදේශවල) සාමාන්‍ය වැඩිවීමක් තිබුණත් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැත. මහවැලි ගඟ නාවලපිටිය සහ පේරාදෙණිය ජල මට්ටම් අනතුරුදායක මට්ටමක පවතින්නේ නැත.

කෙසේ වෙතත්, මේ දිනවල ඉතා කෙටි කාලයක් ඇතුළත දැඩි තීව්‍රතාවයකින් යුත් වර්ෂාපතනයක් ලැබීම (ඊයේ අම්පාරේ පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ මිලිමීටර් 130 කට ආසන්න වර්ෂාපතනයක් ලැබුණා මෙන්) ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇති කිරීමට හේතු විය හැක.

එම නිසා, විශේෂයෙන්ම ගංගා අසල සහ පහත් බිම් ආසන්නයේ ජීවත් වන ජනතාවද, මාර්ග භාවිතා කරන අයද තම ප්‍රදේශවල ලැබෙන වර්ෂාපතනයන් පිළිබඳ නිතර සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා. ඉදිරි දින කීපයේත් සැලකිය යුතු තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අදාළ ආයතන නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *