Loading...

ඩොලර් මිලියන 280ක සැපයුම් පද්ධති ව්‍යාපෘතිය අහිමි වීමට හේතුව ඇමති බිමල් පැහැදිළි කරයි

චීන සමාගමක් සම්බන්ධ වන ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක සැපයුම් පද්ධති ව්‍යාපෘතියට රජය විරුද්ධ වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ, කොළඹ වරායෙන් අක්කර 10ක ඉඩම් ප්‍රමාණයක් වෙන් කිරීමට අදාළ ගිවිසුම පිළිබඳව පැවති ගැටලුකාරී තත්ත්වය බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී විශේෂ අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙම ගිවිසුම මඟින් කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර බහාලුම් පර්යන්ත අතර පිහිටි අක්කර 10ක ඉඩම් ප්‍රමාණයක් අදාළ සමාගම වෙත වෙන් කිරීමට යෝජනා වී තිබූ බවයි.

යෝජිත ආයෝජනයට රජයේ පූර්ණ සහයෝගය හිමි වුවද, අදාළ ගිවිසුමට එළඹ තිබූ ආකාරය සහ එහි නීත්‍යානුකූල පසුබිම පිළිබඳව විවිධ ගැටලු හා සැකසංකා පැවති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළා.

කෙසේ වෙතත්, තමන් අමාත්‍ය ධුරයේ වගකීම් භාරගැනීමෙන් අනතුරුව, අදාළ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගැනීම ඇතුළුව මෙම ව්‍යාපෘතිය පහසු කිරීම සඳහා පෞද්ගලිකවම මැදිහත් වී කටයුතු කළ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

“අපි සමාගමේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිහිපයක් පවත්වා ආයෝජනයට අපගේ සහයෝගය හිමිවන බව පැහැදිලිවම ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, නිසි ක්‍රමවේද අනුගමනය කර නොතිබූ බැවින් දැනට පවතින ගිවිසුම යටතේ ඉදිරියට යාමට අපට හැකියාවක් තිබුණේ නැහැ” යැයි ඒ මහතා සඳහන් කරනවා.

රජයේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් විදේශීය ආයෝජකයන් රටින් ඉවත් වී යන බවට ඇතැම් පාර්ශ්ව වලින් එල්ල වන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ බිමල් රත්නායක මහතා පෙන්වා දුන්නේ, සැකසංකා සහ අක්‍රමිකතා සහිත ගිවිසුම් යටතේ මෙවැනි ආයෝජන ඉදිරියට ගෙනයාම මඟින් ඉදිරියේදී පැමිණෙන අනෙකුත් අනාගත ආයෝජකයන් ද මෙරට ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් නොදක්වන තත්ත්වයක් ඇති විය හැකි බවයි.

කොළඹ වරායේ යෝජිත ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක සැපයුම් පද්ධති ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට නොයන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නිල වශයෙන් තහවුරු කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *