Loading...

ආණ්ඩුවේ අලුත් කෙටුම්පත්වලින් විධායකයට අසීමිත බලතල, පුද්ගල නිදහසට හා අධිකරණ අධීක්ෂණයට තර්ජනයක්

රජය විසින් මෑතකදී ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA)’ සහ ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB)’ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල සහ විරෝධය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාළ විශේෂ නිවේදනය මඟින් පෙන්වා දී ඇත්තේ, මෙම පනත් කෙටුම්පත් මඟින් විධායකයට අධික බලතල ප්‍රදානය කෙරෙන අතර, පුද්ගල නිදහස ආරක්ෂා කිරීමේදී අධිකරණ අධීක්ෂණය දැඩි ලෙස සීමා කෙරෙන බවයි.

රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA):

මීට පෙර සකස් කරන ලද කෙටුම්පතට සාකච්ඡා මාර්ගයෙන් එකඟ වූ කරුණු වෙනස් කරමින් අවසන් පනත් කෙටුම්පත සකස් කර ඇති බව පෙන්වා දෙන නීතිඥ සංගමය, සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු ඇගයීමට මහේස්ත්‍රාත්වරයාට ඇති අභිමතානුසාරී බලය සීමා කරමින් අනිවාර්ය රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම, ඇප ලබා ගැනීමේ දැඩි සීමා පැනවීම සහ මුල් මාස දෙකෙන් ඔබ්බට රඳවා තබා ගැනීම සඳහා මහේස්ත්‍රාත් අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාව ඉවත් කර තිබීම ප්‍රධාන අඩුපාඩු ලෙස පෙන්වා දෙයි. මෙම පනත් කෙටුම්පත මඟින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීමේ, සමාගමයේ සහ යාම් ඊම්වල නිදහස මෙන්ම වධහිංසාවලින් ආරක්ෂා වීමේ මූලික අයිතියට තර්ජනයක් එල්ල වන බැවින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ තීරණයක් ලබා ගැනීමේ පෙත්සමක් ද ගොනු කර තිබේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB):

කිසිදු මහජන උපදේශනයකින් තොරව හඳුන්වා දී ඇති මෙම පනත් කෙටුම්පත හරහා බුද්ධිමය දේපළ, කතෘ හිමිකම් උල්ලංඝනය කිරීම්, සුරාබදු සහ වන සංරක්ෂණ වැරදි වැනි සාමාන්‍ය වැරදි පවා සංවිධානාත්මක අපරාධ ලෙස හැඳින්වීමේ අවදානමක් පවතින බව නීතිඥ සංගමය අවධාරණය කරයි. එමෙන්ම, අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත වසරක කාලයක් දක්වා පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලය ලැබීම, පොලිස් අත්අඩංගුවේදී ලබා ගන්නා ප්‍රකාශ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සැලසීම මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාකාරකම්, සාමකාමී විරෝධතා සහ තරුණ ප්‍රජාව අසාධාරණ ලෙස මර්දනය වීමේ බරපතල අවදානමක් පවතින බව ද පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය හමුවේ PSTA පනත් කෙටුම්පත ඉවත් කර ගැනීම හෝ කාරක සභා අවස්ථාවේදී සුදුසු සංශෝධන ගෙන ඒම, OCB පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) ප්‍රමාදයකින් තොරව අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් සහ අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

පිටු 07කින් සමන්විත මෙම විශේෂ නිවේදනය මගින් නීතිඥ සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ නීතියේ ආධිපත්‍යය, මූලික අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් තමන් අඛණ්ඩව පෙනී සිටින බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *