මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම අතිශය උච්චතම අවස්ථාවකට ළඟා වෙමින් පවතින පසුබිමක, හෝමූස් සමුද්ර සන්ධිය හරහා දිවෙන අතිශය සංවේදී මුහුදු පතුලේ අන්තර්ජාල කේබල් ප්රහාරයන් සඳහා ඉලක්ක කරගත හැකි බවට ඉරානය විසින් දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) උසස් නියෝජිතයෙකුගේ ප්රකාශයක් උපුටා දක්වමින් ඉරාන ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සිය මෙම පුවත වාර්තා කර ඇත.
ඉදිරියේදී යළිත් සෘජු යුදමය ගැටුමක් ඇතිවීමේ හැකියාව ඉරානය කිසිසේත් ප්රතික්ෂේප නොකරන බවත්, යම් හෙයකින් එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් මෙවර එල්ල කරන ප්රතිචාරය පෙරටත් වඩා අතිශය දැඩි හා විනාශකාරී වනු ඇති බවත් අදාළ නියෝජිතයා ප්රකාශ කර සිටිනවා.
“අපි යුද්ධයක් ඇතිවීමේ හැකියාව බැහැර කරන්නේ නැහැ. මෙවර අපගේ ප්රතිචාරය වඩාත් දැඩි වනු ඇති. එක්සත් ජනපදයට බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදුවනු ඇති අතර, ලෝකය ද දැඩි බලශක්ති අර්බුදයකට මුහුණදෙනු ඇත” යනුවෙන් ඔහු සෘජුවම අවධාරණය කර තිබේ. අනාගත ගැටුමකදී නවීන වර්ගයේ විවිධ අවි පද්ධති භාවිත කිරීමට මෙන්ම, මීට පෙර ඉලක්ක නොකළ නව උපායමාර්ගික ස්ථාන හඳුනාගෙන ඒවාට ප්රහාර එල්ල කිරීමටත් ඉරානයට පූර්ණ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
හෝමූස් සමුද්ර සන්ධිය යටින් ගෝලීය අන්තර්ජාල සම්බන්ධතා සහ ජාත්යන්තර වාණිජ දත්ත හුවමාරුව උදෙසා අතිශය වැදගත් වන ප්රධාන මුහුදු පතුලේ කේබල් 07ක් දිවෙන බව පෙන්වා දුන් එම නියෝජිතයා, එම කේබල් පද්ධති ඉතා පහසුවෙන් ඉලක්ක කරගැනීමේ හැකියාව ඉරානය සතු බව ප්රතිවාදී පාර්ශ්වයන් වෙත සිහිපත් කර දී තිබෙනවා.
මැදපෙරදිග පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඉරානය කළ මෙම ආන්දෝලනාත්මක ප්රකාශය හේතුවෙන් ජාත්යන්තර බලශක්ති සැපයුමට මෙන්ම මුළු මහත් ගෝලීය සන්නිවේදන ජාලයන්හි ආරක්ෂාවට ද දැවැන්ත තර්ජනයක් එල්ල වී ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.






Leave a Reply