සියඹලන්ගමුව ප්රදේශයේදී අතිශය අවාසනාවන්ත ලෙස සිදුවූ ‘කාවන්තිස්ස’ හස්තිරාජයාගේ මරණය සම්බන්ධයෙන් වන සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කිරීම, වනඅලි සුබසාධනය උදෙසා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ තිබෙනවා.
හිටපු අමාත්යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරුන් කටයුතු කරනු ලබනවා. එමෙන්ම, මෙම විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරකවරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. හැරිසන් මහතා පත්කර ඇත.
‘කාවන්තිස්ස’ ඇතාගේ මරණය සිදුවූ ආකාරය, ඊට සෘජුව හා වක්රව බලපෑ හේතු සාධක, ඇතාට සිදුකළ ප්රතිකාර කටයුතුවලදී යම් අතපසුවීමක්, ප්රමාදයක් හෝ නොසැලකිලිමත්කමක් සිදුවී තිබේද යන්න සෙවීම මෙන්ම අනාගතයේදී වන අලි සුබසාධනය සඳහා විධිමත් සම්මත මෙහෙයුම් පටිපාටියක් (SOP) සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනට අදාළ නිර්දේශ ලබාදීම මෙම කමිටුව වෙත පැවරී ඇති ප්රධාන කාර්යභාරයයි.
මෙම විමර්ශන හා සංකල්පීය කටයුතුවලදී දේශීය මෙන්ම විදේශීය විශේෂඥයන්ගේද පූර්ණ සහය ලබා ගැනීමට කමිටුවට පූර්ණ බලය පවරා තිබෙනවා.
ඒ අනුව, කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් වන අවසන් විමර්ශන වාර්තාව, යෝජිත වන අලි සුබසාධන මෙහෙයුම් රාමුව සහ ඇතුන් සුරැකීමේ ජාතික යෝජනාවලිය ඇතුළත් සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.







Leave a Reply