Loading...

කාවන්තිස්ස ඇතාගේ ඝාතනයට සැක රාජ්‍ය නිලධාරියා අද අධිකරණයට

අතිශය ජනාදරයට පත් කාවන්තිස්ස හස්තිරාජයා වෙඩි වැදී මියයාමේ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශය මගින් පොලිසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නිල පැමිණිල්ලකට අනුව, සිද්ධිය පිළිබඳ ක්ෂේත්‍ර විමර්ශන සඳහා CID නිලධාරීන් කණ්ඩායමක් උස්ගල, සියඹලන්ගමුව ප්‍රදේශය බලා පිටත්ව ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, මෙම අපරාධයට සම්බන්ධ සියලුදෙනා නීතිය හමුවට පැමිණවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ද ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ 56 හැවිරිදි නිපුණතා සංවර්ධන නිලධාරියෙකු බව පොලිසිය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ මීගලෑව ප්‍රදේශයේදී වලාන දූෂණ මර්දන ඒකකය සහ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොහුව අත්අඩංගුවට ගත් අතර, සැකකරු සන්තකයේ තිබී විදේශයක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, බෙහෙත් කොටන තුවක්කුවක් සහ ජීව උණ්ඩ 24ක් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකරු අද (19) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙරට ස්වාභාවික පරිසරයේ වාසය කළ විශාලතම සහ උසම වන අලියා ලෙස සැලකෙන කාවන්තිස්ස හස්තියාගේ ඉදිරිපස දකුණු පාදයට පසුගිය සැප්තැම්බර් 23 වනදා වෙඩි වැදී තිබූ අතර, දැඩි ලෙස රෝගීව සිටි හස්තිරාජයා මීගලෑව වනජීවී කාර්යාලයට අයත් උස්ගල සියඹලන්ගමුව යාය 03 ප්‍රදේශයේ වෙල් යායක ඇදවැටී මියගොස් සිටියදී සොයාගනු ලැබුවා.

මියගිය කාවන්තිස්ස ඇතාගේ අවසන් කටයුතු පෙරේදා (17) පස්වරුවේ සිදුකෙරුණු අතර, මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා දේහයේ කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය විශේෂඥ මණ්ඩලයක් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *