පාසල් පද්ධතියේ පවතින දැවැන්ත අඩුපාඩු සහ ඉහළ යන ජීවන වියදමට එරෙහිව ප්රංශය පුරා සංවිධානය කර තිබූ මහා පරිමාණ විරෝධතා මාලාවක් අතරතුර අතිශය ප්රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
ලක්ෂ 5 හමාරකට ආසන්න පිරිසක් වීදි බැස සිටි මෙම විරෝධතා අතරතුර සිදුවූ දේපළ විනාශ කිරීම් සහ ප්රචණ්ඩක්රියා සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 1,200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ප්රංශ රජය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
අගනුවර වන පැරිස් නුවර ඇතුළු ප්රධාන නගර රැසක රාත්රී කාලය වන තෙක්ම කැරලි මර්දන පොලිසිය සහ උදහසට පත් විරෝධතාකරුවන් අතර ප්රබල ගැටුම් හටගත් අතර, සෙනඟ විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්රහාර මාලාවක් එල්ල කරනු ලැබුවා.
ප්රචණ්ඩකාරී කණ්ඩායම් විසින් වීදි පුරා ගොඩනැගිලි, වෙළඳසැල් සහ වාහන ගිනි තබා විනාශ කර ඇති අතර, ලිමෝජස් නගරයේ පිහිටි නගර සභා ගොඩනැගිල්ලට එල්ල වූ ගිනි තැබීමකින් එහි වහලයේ කොටසක් සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.
එපමණක් නොව, ලිල් නගරයේ ප්රකට ඇපල් වෙළඳසැලක් ඇතුළු ස්ථාන රැසකට විරෝධතාකරුවන් කඩාපැන ඒවා බිඳ දමා කොල්ලකා ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් තහවුරු කරන්නේ.
මෙහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන්ගෙන් පොලිස් නිලධාරීන් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ප්රංශ අගමැති සෙබස්තියන් ලෙකොර්නු ප්රකාශ කර තිබෙනවා.
ප්රංශයේ අවුරුදු 15-18 අතර සිසුන් අධ්යාපනය ලබන ද්විතියික පාසල්වල පවතින දැඩි ගුරු හිඟය සහ ගොඩනැගිලි නිසි පරිදි අලුත්වැඩියා නොකිරීම ඇතුළු පාසල් පද්ධතියේ ගැටලු මුල් කරගනිමින් මෙම සිසු විරෝධතා ආරම්භ වූ අතර, පසුව ඊට ප්රධාන වෘත්තීය සමිති සහ 2018 වසරේදී ජීවන වියදමට එරෙහිව සටන් කළ ‘කහ කබා’ ව්යාපාරයේ සාමාජිකයින්ද එක්වීමත් සමඟ අරගලය රට පුරා දැවැන්ත තත්ත්වයක් ගත්තා.
එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හමුවේ රට තුළ මේ වන විටත් දැඩි දේශපාලන නොසන්සුන්තාවයක් නිර්මාණය වී ඇති පසුබිමක පැනනැගී ඇති මෙම සිදුවීම් දැඩි ලෙස හෙළාදැක ඇති ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්, ප්රචණ්ඩක්රියා සහ පොදු දේපළ විනාශ කිරීම් සම්බන්ධයෙන් කිසිදු සමාවක තොරව දැඩි ලෙස නීතිය ක්රියාත්මක කරන බව අවධාරණය කර තිබෙනවා.






Leave a Reply