Loading...

සෞදි අරාබියේ මරණ දඬුවමට මුහුණදී සිටින අනෝජන්ගේ සුවදුක් විමසීමට තානාපති දම්මාම් බන්ධනාගාරයට

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින බව පැවසෙන ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසා මහතාගේ වත්මන් තත්ත්වය සහ සුවදුක් විමසා බැලීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වඩ් මහතා ඔහු රඳවා සිටින දම්මාම් මධ්‍යම බන්ධනාගාරය වෙත විශේෂ නිරීක්ෂණ සංචාරයක ගොස් තිබෙනවා.

රියාද් අගනුවර සිට කිලෝමීටර 450ක පමණ දුරක් ගෙවා මෙම බන්ධනාගාරය වෙත ගිය තානාපතිවරයා, අනෝජන් සිවරාසා මුණගැසී ඔහුගේ සුවදුක් විමසා බැලූ අතර, ඔහුගේ වත්මන් යහපැවැත්ම හා සුබසාධන කටයුතු පිළිබඳව ද සොයා බැලූ බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ.

මෙම හමුව අතරතුර තානාපතිවරයා අනෝජන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, එහිදී ඔහු මුහුණ දී සිටින ගැටලු මෙන්ම ඉදිරි අවශ්‍යතා පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සෘජු මඟපෙන්වීම යටතේ අනෝජන් වෙත අවශ්‍ය සියලුම කොන්සියුලර් සහ නෛතික සහායන් අඛණ්ඩව ලබාදීමට තානාපති කාර්යාලය කැපවී සිටින බව තානාපතිවරයා මෙහිදී නැවත වරක් ඔහුට සහතික වී තිබෙනවා.

එමෙන්ම, ඉදිරියේදී අවශ්‍ය ඕනෑම අවස්ථාවක සෘජු සන්නිවේදනය පහසු කරගැනීම සඳහා තානාපතිවරයා පෞද්ගලිකව සම්බන්ධ කරගත හැකි දුරකථන අංක ඇතුළු තොරතුරු ද අනෝජන් වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම හමුවෙන් අනතුරුව අනෝජන් සිවරාසා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, සෞදි බන්ධනාගාර බලධාරීන් ඔහුගේ සුබසාධනය සම්බන්ධයෙන් නිසි අයුරින් අවධානය යොමු කර ඇති බවත් තානාපති කාර්යාලය තහවුරු කර සිටිනවා.

මෙහිදී දම්මාම් මධ්‍යම බන්ධනාගාර අධ්‍යක්ෂවරයා සහ බන්ධනාගාර වෛද්‍යවරයා මුණගැසුණු ශ්‍රී ලංකා තානාපතිවරයා, අනෝජන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ බන්ධනාගාරගතව සිටින කාලය තුළ ඔහුගේ පහසුකම් පිළිබඳව ද ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *