කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
කථානායකවරයාට එරෙහිව බරපතල චෝදනා 49ක් පදනම් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය සහ සභා ගර්භය හැසිරවීමේදී කථානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී, ඒකපාර්ශ්වික සහ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු අදාළ ධුරය දැරීමට නුසුදුසු බවට විපක්ෂය ප්‍රධාන වශයෙන් චෝදනා කර සිටිනවා.
විශේෂයෙන්ම, සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතිශය වැදගත් වරප්‍රසාද ප්‍රශ්න සහ යෝජනා කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා කථානායකවරයා විසින් තදින්ම ප්‍රතික්ෂේප කරනු ලැබූ බවයි විපක්ෂය පෙන්වා දෙන්නේ.
පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ වූ අතර, එහි ප්‍රථම අත්සන තබනු ලැබුවේ ද විපක්ෂ නායකවරයා විසිනි.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසකගේ අත්සනින් සමන්විත මෙම යෝජනාව අද දිනයේදී පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත නිල වශයෙන් යොමු කරන බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා තහවුරු කළේ.







Leave a Reply