පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කිරීමෙන් අනතුරුව අද (06) පස්වරුවේ යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවෙමින් සිටියදී ජාතික රෝහලට ඇතුළත් කර සිටි සුරේෂ් සලේ මහතාට ප්‍රතිකාර කළ වෛද්‍ය මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරුන් 10 දෙනෙකුට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා මීට පෙර නොතීසි නිකුත් කර තිබුණා.
එම නියෝගයට අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අදාළ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් විශේෂ කමිටුව අධිකරණයට දැනුම් දුන්නේ, දින 100කට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බැවින් ඔහුට රෝහලෙන් පිටව යා හැකි බවයි.
එම වෛද්‍ය වාර්තාව හමුවේ අධිකරණයට කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, සුරේෂ් සලේ මහතාව අද පස්වරුවේම නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම් කෙරුණු සුරේෂ් සලේව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, දින 90ක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබුණා.
කෙසේ වෙතත්, රැඳවුම් භාරයේ සිටියදී තමන්ට අමානුෂික ලෙස වධහිංසා පමුණුවන බවට චෝදනා කරමින් සුරේෂ් සලේ මහතා ආහාර වර්ජනය කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස අවදානම් වීම හේතුවෙනුයි මෙලෙස දින 100කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ විශේෂිත ප්‍රතිකාර සඳහා යොමු කර තිබුණේ.
මේ අතර, සුරේෂ් සලේ මහතාට එරෙහි දින 90ක රැඳවුම් නියෝග කාලය අවසන් වීමෙන් පසුව එය නැවත දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ සහ මව විසින් ජනාධිපතිවරයා වෙත ද විශේෂ ලිපි යොමු කර තිබුණා.
එම ලිපි මගින් ඔවුන් ඉල්ලා සිටියේ, අදාළ රැඳවුම් නියෝගය යළි දීර්ඝ නොකර ඔහු සිරකරුවෙකු ලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන ලෙසයි.








Leave a Reply