Loading...

ඛනිජ තෙල් සංස්ථා සභාපතිගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

මෙම ඔක්තෝබර් මාසය අවසන් වනතුරු මෙරට ඉන්ධන මිලගණන් කිසිසේත්ම වැඩි නොකර දැනට පවතින මිල ගණන් යටතේම පවත්වාගෙන යාමට හැකියාව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසනවා.

අද (06) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, ඉදිරි මාස තුන ඇතුළත ගෝලීය වශයෙන් වෙනත් විශාල ගැටලුවක් මතු නොවන්නේ නම් වත්මන් ඉන්ධන මිල සහ සැපයුම් තත්ත්වය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සංස්ථාවට හැකියාව පවතින බවයි.

පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල තාවකාලික ඉන්ධන හිඟයක් මතු විය හැකි බව ද ඔහු මෙහිදී පිළිගත්තා.

කෙසේ වෙතත්, එවැනි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය හැකි ප්‍රදේශ 62ක් මීට සති තුනකට පෙරම හඳුනාගෙන ඇති බවත්, එම ප්‍රදේශවලට අයත් පිරවුම්හල් වෙත වැඩි ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීමට අදාළ සමාගම් සමඟ විශේෂ එකඟතාවකට පැමිණ ඇති බවත් සභාපතිවරයා අවධාරණය කළා.

ඒ අනුව රට තුළ ඉන්ධන සම්බන්ධයෙන් විශාල ලෙස කලබල වීමට හෝ බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එබැවින් ඉන්ධන හිඟයක් පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල වී පිරවුම්හල් අසල රතී පෝලිම් නිර්මාණය නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින සභාපතිවරයා, යම් හෙයකින් වෙනත් පෞද්ගලික සමාගම්වල පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පැවතුනහොත් ආසන්නතම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) පිරවුම්හල වෙත යොමුවන ලෙස ජනතාවට දැනුම් දුන්නා.

මේ අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, ඉන්ධන තොග සම්බන්ධයෙන් සෑම සතියකම අඟහරුවාදා දිනයේදී විශේෂ සමාලෝචනයක් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එම සතිපතා සමාලෝචනයට අනුව තවත් අතිරේක ඉන්ධන නෞකා දෙකක් කඩිනමින් මෙරටට ගෙන්නවීමට කටයුතු කර ඇති අතර, මෙම මාසයට අවශ්‍ය සමස්ත ධාරිතාවටත් වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගෙන්වා තොග රැස්කර තැබීමට පියවර ගෙන ඇති බවයි ඛනිජ තෙල් සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *