Loading...

පෞද්ගලික තෙල් සමාගම්වලට බලශක්ති අමාත්‍යාංශයෙන් හදිසි නියෝගයක්

දිවයින පුරා පවතින ඉන්ධන හිඟයට වහාම විසඳුම් ලබාදෙමින්, කිසිදු බාධාවකින් තොරව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන ලෙස පෞද්ගලික ඉන්ධන බෙදාහැරීම් සමාගම් වෙත ලිඛිතව දැනුම්දීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද (06) දිනයේ අදාළ සමාගම් වෙත මෙම දැඩි දැනුම්දීම ලිඛිතව යොමුකරන බවයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ තමන්ට දැවැන්ත පාඩුවක් සිදුවන බව පවසමින් මෙරට තුළ ක්‍රියාත්මක පෞද්ගලික ඉන්ධන සමාගම් අත්තනෝමතික ලෙස බෙදාහැරීම් සීමා කිරීමට පියවර ගැනීමත් සමඟයි මෙම අර්බුදය හටගෙන ඇත්තේ.

මේ හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල නැවතත් දිගු පෝලිම් නිර්මාණය වී ඇති අතර, ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා.

පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ සමාගම් වෙත අවම තෙල් තොග අනිවාර්යයෙන්ම පවත්වාගෙන යන ලෙසට බලකිරීමට ද අමාත්‍යාංශය තීරණය කර ඇති අතර, ඊට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත වැඩි ඉන්ධන ධාරිතාවක් බෙදාහැරීමට ද හදිසි උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, හටගෙන ඇති මෙම දැවැන්ත ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා හෙට (07) දිනයේදී විශේෂ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ සාකච්ඡාව සඳහා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානීන් සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම, ජනතාව මුහුණ දී සිටින මෙම දැඩි ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් වහාම මැදිහත් වී කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා ද රජයෙන් හදිසි ඉල්ලීමක් කර සිටින්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *