Loading...

ඩොලර් බිලියන 3.7ක සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය අර්බුදයක

මෙරට විශාලතම සෘජු විදේශ ආයෝජන ව්‍යාපෘතිය ලෙස සැලකෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සහ සිනොපෙක් සමාගමට පසුගිය ජූනි මාසය අවසන් වන විටත් අවසන් එකඟතාවයකට එළැඹීමට නොහැකි වී ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙරට ආයෝජන තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවේ සඳහන් වනවා.

හම්බන්තොට වරාය ආසන්නයේ ඉදිකිරීමට යෝජිතව තිබූ මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘති ගිවිසුම අවසන් කිරීමට කැපවන බවට පසුගිය වසරේ ජනවාරි මාසයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබූ බවයි එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම පසුගිය පෙබරවාරි මාසයේදී අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙරට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක වටිනාකමකින් යුත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත් වූ බවත්, මුල් ගිවිසුමේ කොන්දේසි නැවත වරක් සාකච්ඡා කිරීමට රජය උත්සාහ කිරීම ඊට හේතු වූ බවත් එම වාර්තාවේ දැක්වෙනවා.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ නව පාවෙන එල්.එන්.ජී (LNG) පර්යන්තයක් සඳහා වන ගිවිසුම අත්සන් කිරීමට දින කිහිපයකට පෙර චයිනා හාබර් ඉංජිනේරු සමාගම සමඟ පැවති සාකච්ඡා රජය විසින් නිහඬවම අවසන් කිරීමට පසුගිය දෙසැම්බර් මාසයේදී කටයුතු කර ඇති බවයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එසේම රජය පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලීකරණය කිරීමේ සැලසුම ද අත්හැර දමා, ඒ වෙනුවට එම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇති බව ද එහි සඳහන්.

රජය විසින් ලබාදෙන මෙවැනි එකිනෙකට වෙනස් සහ පරස්පර පණිවුඩ හේතුවෙන් ජාත්‍යන්තර ආයෝජකයන් දැඩි කණස්සල්ල පළ කර තිබෙනවා.

එක් පසෙකින් විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන අතරතුර, ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාජ්‍ය ව්‍යවසායන් සහ ආර්ථික කටයුතුවල රාජ්‍ය මැදිහත්වීම වැඩි කළ යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ද ආයෝජකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජනයක් සිදු කිරීමේදී මුහුණ දීමට සිදුවන දීර්ඝ හා සංකීර්ණ අනුමත කිරීමේ ක්‍රියාවලිය ආයෝජකයන් දැඩි ලෙස කලකිරීමට පත්කරවන බවයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වාර්තාවෙන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *