Loading...

22 වැනි සංශෝධනයට පෙර පුළුල් සාකච්ඡාවක් ඕනෑ – කතෝලික රදගුරු සම්මේලනය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ඉහළ දැමීමට අදාළව යම් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන්නේ නම්, ඊට පෙර ප්‍රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරයි.

විනිසුරුවරුන්ගේ පවතින නීතිමය විශ්‍රාම වයස ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සම්මේලනය මේ බව සඳහන් කර ඇත.

අධිකරණ සංඛ්‍යාව ඉහළ යාම සහ අභියාචනාධිකරණයේ ප්‍රාදේශීය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබීම නිසා පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබුණද, සෑම අවස්ථාවකදීම අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලතල බෙදීමේ මූලධර්මය ආරක්ෂා විය යුතු බව රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.

ස්වාධීන අධිකරණ පද්ධතියක් පවත්වාගෙන යාම මූලික අයිතිවාසිකම් සහ පුරවැසියන්ගේ පොදු යහපත සුරක්ෂිත කිරීමට අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දෙන එම සංගමය, මෙවැනි සංශෝධනයක් සිදු කරන්නේ නම් එහි ප්‍රධාන අරමුණ විය යුත්තේ අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, පළපුරුදු විනිසුරුවරුන් රඳවා ගනිමින් අධිකරණ නිලධාරී හිඟයට විසඳුම් සෙවීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් අවම කිරීම බවද වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අතිඋතුම් ආචාර්ය හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන් සහ මහලේකම් අතිඋතුම් ආචාර්ය පී. ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *