2019 වසරේ ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් පැළද සිටියේ යැයි කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් හසලක පොලීසියේ ස්ථානාධිපතිවරයා මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
එම කාන්තාව විසින් ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් පසුව කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මේ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ හසලක පොලීසියේ එවකට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන නිශාන්ත යන අය විසින් සිය පෞද්ගලික මුදල් විසින් රුපියල් 30000ක මුදලක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවද විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.
මෙම වන්දි මුදල ගෙවීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුදල් හෝ පොලිස් සාමුහික අරමුදලේ මුදල් භාවිත නොකළ බව පොලිස්පතිවරයා විසින් අධිකරණයට සහිතකයක් ලබාදිය යුතු බව එම නියෝගයේ සඳහන් වනවා.
තවද එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3 (1) වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීම සිදු කිරීමේ දී අනුගමනය කළ යුතු පැහැදිළි කිරීම් දැක්වෙන චක්‍රලේඛයක් නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායිකාව ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් පැළඳ සිටි බව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්ත ද පසුව එය නැවක සුක්ඛානමක් බවට කරුණු අනාවරණය හෙළිව ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදී තිබෙනවා.
2019 වසරේ මැයි මස 17 වනදා හසලක පොලිස් වසම තුළදී ධර්ම චක්‍රය සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි මෙම පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබුණා.








Leave a Reply