Loading...

රේගු නිලධාරින්ගේ වැඩ ගැන විගණනය කියන කථා

01 රාජ්‍ය ආයතන 41 කින්  ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 වැනිදින වනවිට රේගුවට  රුපියල් බිලියන 58.6ක පොල්ලක්.

02 රේගුව මගින් පැනවු දඩ මුදල පසුව  ලිහිල් කිරිම නිසා පසුගිය වසර 07 තුලදි රජයට  රුපියල් දෙසිය දහතුන් කෝටි,අසුනමලක්ෂ,අසුහත්දහස් හයසිය විසිනමයක (2,138,987,629)  ආදායමක් අහිමිවෙලා.

03. රේගු ත්‍යාග අරමුදලින්  වසර 07ක කාලය තුල  නොකඩවා එක් නිලධාරියෙකු ත්‍යාග  මුදල්  වශයෙන්  රුපියල්  මිලියන 382.6ක් ලබාගෙන.

04. පසුගිය වසර 12කට ආසන්න කාලය තුල  රේගු නිලධාරින්, ඔත්තුකරුවන් හා විවිධ සේවා සපයන්නන් සදහා රේගු ත්‍යාග අරමුදලින්  කෝටි  2352ක් ගෙවලා.

. 05 රේගු නිලධාරින්  තම වගකිම් හා මුලික කාර්යයන් ඉටුනොකර  ත්‍යාග ලබාගත් හා ත්‍යාග ලබා ගැනිමේ අරමුණින් කටයුතු කරලා  විගණනය කියයි.

06 සාමාන්‍ය රාජකාරි  වෙලාවෙන් පරිබාහිරව  සේවයේ  යෙදුනාද, නැද්ද යන්න නොසලකා  රේගු අතිකාල අරමුදලින්  සියයට 90ක් නිලධාරින්ට ගෙවලා.

07 රේගු ත්‍යාග අරමුදලේ යටතේ ඇති උප අරමුදල්  සහ   කළමණාකරණ හා වන්දි අරමුදල අහෝසි කරන්න විගණනයෙන් නිර්දේශ.

                           (ලලිත්  චාමින්ද)

  ශ්‍රිලංකා රේගුව වු කලි  මෙරට ඇති  පැරණිතම  දෙපාර්තමේන්තු වලින් එකකි. ඒ විතරක් නොව  මෙරට රාජ්‍ය ආදායම රැස්කිරිමේ  සහ  නිතිය  බලාත්මක කිරිමේ වගකිම් දරණ  ප්‍රධාන  රාජ්‍ය ආයතනයකි. මෙරට රාජ්‍ය ආදායමෙන් සියයට 37ක  පමණ දායකත්වය ලබා දෙන්නේ ශ්‍රිලංකා රේගුව  විසිනි. මෝටර් රථ ආනයනය කිරිමේ දි  අයකරණු ලබන බදු සහ  තිරු බදු ශ්‍රිලංකා රේගුවේ  ප්‍රධාන ආදායම් මාර්ග ලෙස සැලකේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තිබු. ක්‍රම හා විධි පිළිබද කාරක සභාවේ දෙවැනි වාර්තාවට අනුව  2023 වර්ෂය සදහා භාණ්ඩාගාරය විසින් රේගුවට ලබා දි තිබු ඉලක්කගත ආදායම  රුපියල් බිලියන 1220කි. එහෙත්  රේගුවට  ඉකුත් වර්ෂයේ එක්රැස්කර ගැනිමට හැකිවුයේ ඉලක්කගත ආදායමෙන්  බිලියන 974කි.

ක්‍රම සහ  විධි පිළිබද කාරකසභා වාර්තාවට අනුව ශ්‍රිලංකා රේගුව සදහා ජනාධිපති ලේකම්  අග්‍රාමාත්‍ය කාර්යාල  ඇතුළු රාජ්‍ය ආයතන 41 විසින් ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 වැනිදින වනවිට  රුපියල් බිලියන 58.6ක රේගු බදු ගෙවිම් පැහැර හැර තිබුණි.  මෙකි රාජ්‍ය ආයතන අතුරින් වසර 01 .ත් 05 අතර කාලය තුල පහැර හැර ඇති රේගු බදු  මුදල රුපියල් බිලියන 1.61කි. වසර 5ත් 15ත් අතර කාලය තුල දි රේගු බදු මුදල් වශයෙන් රුපියල් බිලියන 56.99ක මුදලක් පැහැර හැර ඇති බවද මෙකි වාර්තාවේ සදහන් වේ. මෙසේ රේගු බදු මුදල් ගෙවිම පැහැර හැර ඇත්තේ  කර්මාන්ත හා වාණිජ්‍ය, සෞඛ්‍ය, අධ්‍යාපන,පළාත් සභා හා පළාත් පාලන, මහාමාර්ග හා උසස් අධ්‍යාපන, ආර්ථික සංවර්ධන, ආපදා කළමණාකරණ, ආගමික, සංස්කෘතික,තරුණ කටයුතු, යන අමාත්‍යංශ වේ.එමෙන්ම  ජලසම්පාදන හා ජලාපවාහන, වරාය, ජාතිය ගොඩනැගිමේ, ධිවර ක්‍රිඩා, විදුලිබල හා බලශක්ති, වෘත්තිය හා කාර්මික පුහුණු, නැවත පදිංචිකිරිම පරිසර, ආරක්ෂක, සංචාරක, ප්‍රවාශන,සමාජසේවා,ජනමාධ්‍ය,කෘෂිකර්ම,සමුපාකාර, නාගරික සංවර්ධනයන අමාත්‍යංශ ද රේගු බදු මුදල් ගෙවිම  පැහැර හැර ඇති අමාත්‍යංශ වේ.

 ශ්‍රිලංකායුධ හමුදාව, මුදල් අමාත්‍යංශය,ඛනිජතෙල් නිතිගත සංස්ථාව, ශ්‍රිලංකා වරාය අධිකාරිය යන ආයතන ද රේගු බදුමුදල් ගෙවිම පැහැර හැර ඇති බව මෙකි වාර්තාවේ සදහන් වේ.

රාජ්‍ය ආයතන පමණක් නොව  ඇතැම් ආනයන කරුවන්ද  විවිධ රේගු වැරදි සිදුකොට   බදු මුදල්  පැහැර හැරිමට කටයුතු කරති. ශ්‍රිලංකා රේගුවේ පවතින  විවිධ අරමුදල්  කළමණාකරණය හා  පරිපාලනය සම්බන්දයෙන් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විශේෂ විගණන වාර්තාවට අනුව ආනයනකරුවන් විසින් අවස්ථා 17කදි විවිධ රේගු වැරදි සිදුකර ඉකුත් වසර 07 තුලදි (2017 වර්ෂයේ සිට 2023 දක්වා) පැහැර හැරිමට උත්සාහ කළ බදු මුදල රුපියල් තිස්දෙකෝටි,හැටලක්ෂ,විසිදහස්හත්සිය දොළහකි (326,020,712)  මෙකි ආනයනකරුවන් විසින්   බදු මුදල් ගෙවිම පැහැර හැරිම හේතුවෙන්  රේගුව මගින් පැනවු දඩ මුදල පසුව  ලිහිල් කිරිමට කටයුතු කරතිබුණි. දඩ මුදල් ලිහිල් කිරිම  හේතුවෙන්  රජයට ඉකුත් වසර 07 තුලදි   අහිමිවි ඇති ආදායම   රුපියල් දෙසිය දහතුන් කෝටි,අසුනමලක්ෂ,අසුහත්දහස් හයසිය විසිනමයක (2,138,987,629) කි..

  ආනයනය කරුවන් විසින් මෙකි බදු මුදල පැහැර හැරිමට උත්සාහ කිරිම හේතුවෙන්  මෙම කාලසිමාව තුල රේගුව විසින් පැනවු මුළු දඩ මුදල රුපියල් හත්සියහැටඑක්කෝටි,දාසයලක්ෂ,පනස්දෙදහස්,අටසියතිස්හතරකි(7,611,652,834)  එකි දඩ මුදල රේගු  අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ බලතල ප්‍රකාරව  විමර්ශන නිලධාරින් විසින් පසුව ලිහිල් කිරිම හේතුවෙන්  එකි දඩ මුදල රුපියල්  හතලිස්අටකෝටි,දාසයලක්ෂ,අනුහතරදහස් හැත්තැඅටක් (481,694,078) දක්වා අඩුවි තිබුණි. එය මුළු දඩ මුදලින්   සියයට 6.33ක් පමණක් බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. ලිහිල් කල දඩ මුදලින් රජයට  බැරකොට තිබුණේ  සියයට 30ක වටිනාකමක් වු රුපියල් දාහතරකෝටි,හතලිස්පන්ලක්ෂ,අටදහස්දෙසිය විසිහතරකි (144,508,224)

රේගු වැරදිවලට පාදක වන ආනයනයන්  එසේ නොමැතිව  නිවරදිව සිදුවුයේ නම් ඒමත පනවන බදු මුදල් සම්පුර්ණයෙන්ම  රජයේ ආදායමට බැරවන බවද  විගණන වාර්තාවේ සදහන් වේ. එහෙත් දඩ මුදල් පනවා මුදල් අයකරගැනිමේ දි  ඉන් සියයට 50ක් ත්‍යාග අරමුදලට හා  සියයට 20ක් කළමණාකරණ  වන්දි අරමුදලට බැරකෙරේ.  ආනයනයකරුවන්ගේ මුල්‍ය දුෂ්කරතාවය  දඩමුදල් ලිහිල් කිරිමේ හේතුව ලෙස  දක්වමින්  දඩ මුදල් අඩු කළ අවස්ථා  බහුලව පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.  මේ අයුරින් දඩ මුදල් ලිහිල් කිරිම රේගු ආඥාපනතේ‍ 166 වගන්තියේ  දක්වා නොතිබුණ බවද  විගණන වාර්තාවේ සදහන් වේ.

 ක්‍රම හා විධිකාරක සභා වාර්තාව මගින් ද රේගු වැරදි සම්බන්දයෙන් පනවනු ලැබු දඩ මුදල පසුව ලිහිල් කිරිම සදහා රජයට  අහිමිවු ආදායම පිළිබද  සදහන් කොට ඇත්තේය. එම වාර්තාවේ සදහන් ආකාරයට  මෙරටට ගෙන්වනු ලබන භාණ්ඩ  ශ්‍රිලංකා රේගුව විසින් අත්අඩංගුවට ගැනිමෙන් පසු  ඕනැම භාණ්ඩයක වටිනාකම මෙන්  තුන් මුදලකට දඩ මුදලක් අයකිරිමට  ශ්‍රිලංකා රේගු  ආඥාපනතින් බලය ලබා දි ඇත. නමුත් වරද ස්වභාවය අනුව  අඩු වටිනාකමින් යුතු  දඩයක් නියම කිරිමට  රේගු අධ්‍යක්ෂකවරයාට ඇති අභිමතය  ක්‍රියාත්මක කිරිම හේතුවෙන්  රජයට ලැබිය යුතුව තිබු  රුපියල් බිලියන 3ක ආදායමක් අහිමිවි ඇති බව ක්‍රම හා විධිකාරක සභා වාර්තාවේ සදහන් වේ.

 රේගුව ගැන සදහන් කරණ විට රේගු නිලධාරින්  සදහා  සදහා ස්ථාපිත කරණු ලැබු අරමුදල් පිළිබද සදහන් නොකරම බැරිය. රේගු නිලධාරින්ගේ ත්‍යාග අරමුදල, රේගු නිලධාරින්ගේ කළමණාකරණ හා වන්දිමුදල, රේගු නිලධාරින්ගේ අතිකාල,නැව් භාණ්ඩ පාරික්ෂා කිරිමේ ගාස්තු හා  රේගු තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අරමුදල, යනුවෙන් ප්‍රධාන අරමුදල් තුනක්  රේගුව විසින් පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම ත්‍යාග අරමුදල යටතේ උප අරමුදල වශයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ අරමුදල,ඉන්ධන අරමුදල, සියයට 2.5 අරමුදල, වෙනත් අංශ සදහා අරමුදල  යනුවෙන්   උප අරමුදල් හතරක් පවත්වාගෙන යයි. ජාතික විගණන කාර්යාලයේ නිරික්ෂණවලට අනුව  රේගු වැරදි සම්බන්දයෙන්  දඩ මුදල්  ලෙස අයකරගනු ලබන මුදලින්  එකාබද්ධ අරමුදලට බැර වන්නේ අඩු  ප්‍රතිශතයකි. එකි දඩ මුදලින් වැඩි ප්‍රතිශතයක්  බැර වි ඇත්තේ ත්‍යාග අරමුදල සහ  කළමණාකරණ හා වන්දි අරමුදල සදහාය. එකි අරමුදල් මගින් මෙම මුදල් යම් කිසි ක්‍රම වේදයකට අනුව  රේගු නිලධාරින් අතර බෙදා දෙනු ලැබේ.

 රේගු ත්‍යාග අරමුදලින්  2012 වර්ෂයේ සිට  2023 වර්ෂයේ අගෝස්තු මස 31 දින දක්වා වු වසර 12කට ආසන්න කාලය තුල  රේගු නිලධාරින්, ඔත්තුකරුවන් හා විවිධ සේවා සපයන්නන් සදහා  ගෙවා ඇති මුදල රුපියල් 23,529,998,681කි. මෙකි අරමුදලින් 98 වර්ෂයේ සිට  මුදල් ගෙවා තිබුනද එම  තොරතුරු විගණනයට ලබා ගැනිමට නොහැකිවු බව විගණන වාර්තාවේ සදහන් වේ. මෙකි අරමුදල මගින් 2016 වර්ෂයේ සිට 2023 වර්ෂයේ අගෝස්තු මස  දක්වා කාලය තුල  රේගු නිලධාරින් 100 දෙනෙකු අතර බෙදා දි තිබු ත්‍යාග මුදලේ ප්‍රමාණය  රුපියල් මිලියන 475 සිට  රුපියල් මිලියන 1042ක දක්වා වු  පරාසයක පැවති බව විගණන වාර්තාවේ සදහන් වේ.

 මෙකි දත්ත අනුව ඉහලම  ත්‍යාග ලැබු නිලධාරින් 100 දෙනාගේ ත්‍යාග මුදලේ සාමාන්‍යය  රුපියල් මිලියන 4.7සිට  රුපියල් මිලියන 10 දක්වා පරාසයක පැවතුණි. අවුරුදු 07ක් හා මාස 5ක් තුලදි  ත්‍යාග මුදලේ සාමාන්‍යයට වඩා  ලබාගත් නිලධාරින්ගේ සංඛ්‍යාව 174කි. ඒ විතරක් නොව 2017/2018 යන බදු වර්ෂයේ  ඉහලම ත්‍යාග ලැබු නිලධාරියා ලබාගත්  ත්‍යාග මුදලේ වටිනාකම රුපියල්  මිලියන 95කි.2021/2022 බදු වර්ෂයේ ඉහලම ත්‍යාග ලැබු නිලධාරියා ලබාගත්  ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් මිලියන 126කි.2022/2023 වර්ෂයේ ඉහලම ත්‍යාග ලැබු නිලධාරියා ලබාගත්  ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් මිලියන 111කි. 2016/2017 කාලසිමාවේ සිට 2022/2023 දක්වා වසර 07ක කාලය තුල  නොකඩවා ත්‍යාග ලැබු  එක් නිලධාරියකු සිටි අතර  ඔහු ලැබු ත්‍යාග මුදලේ වටිනාකම රුපියල්  මිලියන 382.6කි.

  රේගු නිලධාරින්  තම වගකිම් හා මුලික කාර්යයන් ඉටුනොකර  ත්‍යාග ලබාගත් හා ත්‍යාග ලබා ගැනිමේ අරමුණින් කටයුතු කරඇති අවස්ථා ද විගණනය මගින් අනාවරණය කොට තිබුණි. මේ ඒ සදහා එක් උදාහරණයකි. ඉන්දියාවේ  මුම්බායි සිට  සුදු සිනි ලෙස  සදහන් කොට දුඹුරු සිනි තොගයක් ආනයනය කිරිම  සම්බන්දයෙන් රේගුව විසින් විමර්ශනයක්  සිදුකොට ආනයනකරුට රුපියල් මිලියන 189ක දඩ මුදලක් පනවා තිබුණි. මුදල් ඇමතිවරයාගේ බලතල ප්‍රකාරව එම දඩ මුදල  මිලියන 169 දක්වා අඩුකර තිබුණි. මෙකි බහාලුම්  රේගුවේ පරිලෝකන පද්ධතියෙන් සහ  ආර්.සි.ටි අංගනයේ පරික්ෂාවෙන් පසු  දෝෂයක් හදුනා ගැනිමකින් තොරව නිදහස් වි  ආනයනකරුගේ ගබඩාව වෙත ද නිකුත්කොට තිබුණි. පසුව රේගුවෙ අනුකුලතා  සහ පහසුකම් සැපයිමේ අංශය වෙත ලද ඔත්තුවක් මත  ඒ සදහා ක්‍රියාත්මක වි තිබුණි. මෙකි සිදුවිමට පෙර ආනයනකරු  අධ්‍යක්ෂක ධුරය දරණු ලබන විවිධ සමාගම් විසින්  23 වතාවක් රේගු වැරදි සිදුකර  තිබු බව රේගුව විසින්ම හදුනාගෙන තිබුණි. එහෙත් රේගුව  ඇතුලත භාණ්ඩ පරික්ෂාවේ දි ඒ  බව සැලකිල්ලට ගෙන නොතිබුණි. එසේ තිබියද රුපියල් මිලියන 169  මුදලින් රුපියල් මිලියන 80.25ක මුදලක් ත්‍යාග අරමුදලට බැරකොට තිබුණි. ඉන් විමර්ශන සදහා සෘජුවම දායක වු නිලධාරින්  218 දෙනෙකුට  රුපියල් මිලියන 27.5ක මුදලක්  ද  උප අරමුදල් හා අනිකුත් සංචිත නිලධාරින්ට  රුපියල් මිලියන 8.7ක් වශයෙන්  මිලියන 36.2ක මුදලක් ත්‍යාග මුදල් වශයෙන් ගෙවා තිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.

 අනික් කාරණය වන්නේ  රේගු ආඥාපනතේ 153 (2) ආ වගන්තිය ප්‍රකාරව ත්‍යාග මුදල් අදාල නිලධාරින් හා තොරතුරු සපයන්නන් අතර  බෙදාදිය යුතුවේ.එහෙත්  රේගුව විසින් එකි පනතට අනුකුලව විමර්ශන සදහා දායකත්වය නොදක්වන  නිලධාරින් සදහා ත්‍යාග  ලැබෙන අයුරින්  වරින් වර අභ්‍යයන්තර නියෝග මගින්  ප්‍රතිපාදන සලසාගෙන තිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.

 භාණ්ඩවල වටිනාකස අඩුවෙන් දැක්විම,නියමිත සංයෝජිත භාණ්ඩ  වර්ගිකරණය, අංක වැරදි ලෙස දැක්විම, ප්‍රකාශ නොකල භාණ්ඩ ගෙන්විම, ප්‍රකාශ කළ භාණ්ඩ වෙනුවට වෙනත් භාණ්ඩ ගෙන්විම, යන වැරදි හදුනා ගැනිම  රේගු නිලධාරින්ගේ සාමාන්‍ය  රාජකාරියේ  කාර්යයන් හා වගකිම වේ.එහෙත්  එවැනි  සාමාන්‍ය රාජකාරිමය අනාවරණය කරගැනිම්  රේගු වැරදි  අනාවරණය කරගැනිම ලෙස සලකා   ඒ සදහා කාර්ය මණ්ඩලයට ත්‍යාග හා  හිමිකම් ලබා දි තිබු බව විගණනය මගින් අනාවරණය කොට  තිබුණි. ඒ අනුව රේගු නිලධාරින්  රාජකාරියට වාර්තා කිරිම පමණක් සිදුකළද  ඔවුන්ට වැටුප්, දිරිදිමනා,අතිකාල ,ලැබෙන බවද විගණන වාර්තාවේ සදහන් වේ. රේගු නිලධාරින්ගේ  රාජකාරියේ කාර්යයන් හා වගකිම්  ඉටුකිරිම වෙනුවෙන්  අමතර ප්‍රතිලාබ ලැබෙන බව නිරික්ෂණය වන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 එමෙන්ම  රේගු දේපාර්තමේන්තුව විසින් රේගු නිලධාරින්ගේ ත්‍යාග  මුදල් 88 වර්ෂයේ සිට අදාල නිලධාරින් හා තොරතුරු සපයන්නන් අතර බෙදා දි  ඇත්තේ මුදල් ඇමතිවරයාගේ අනුමැතියක් නොමැතිව දේපාර්තමේන්තුව විසින් තම අභිමතය පරිදි  සකස්කරගනු ලැබු අභ්‍යන්තර නියෝග මත පමණක්  පිහිටා  ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ..

 මේ අයුරින් ඉකුත් වසර 12 තුල (2012 වසරේ සිට 2023 අගෝස්තු දක්වා) රේගු නිලධාරින්ගේ ත්‍යාග අරමුදලින්  රුපියල්  24,225,600,376ක  ත්‍යාග මුදලක් අදාල  නිලධාරින් හා තොරතුරු සපයන්නන් අතර බෙදා දි   ඇති බැව් විගණනය මගින් අනාවරණය කොට ඇත.රේගු ආඥාපනතේ  153 වගන්තිය ප්‍රකාරව  මුදල් අමාත්‍යවරයා විසින් අනුමත කළ යෝජනා ක්‍රමයකට  අනුව  ත්‍යාග මුදල් අදාල  නිලධාරින් හා තොරතුරු සපයන්නන් අතර බෙදාදිය යුතුවේ. මුදල් ඇමතිවරයගේ අනුමැතිය ලබාගෙන ඇති බවට  වු ලියකියවිලි  ආයතනය තුලින් මේ වනවිට  සොයාගැනිමට නොහැකි බවට ශ්‍රිලංකා රේගුව විසින්  විගණනයට සදහන් කොට ඇත.

 මේ අයුරින් මුදල් ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව 1988 වර්ෂයේ සිට  ත්‍යාග මුදල් ගෙවා ඇති බැවින්  රේගු පනතෙහි පවත්නා විධිවිධාන උල්ලංඝණය වි ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ. මේ නිසා රේගු දේපාර්තමේන්තු නියෝග  නැවත සමාලෝචනය කර  පනතේ විධිවිධානවලට අනුකුල වන පරිදි මුදල් අමාත්‍යවරයාගේ  එකගතාවයකින් යුතුව පමණක්  දේපාර්තමේන්තු නියෝග සංශෝධනය කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

අසාමාන්‍ය ලෙස අතිකාල දිමනා ලබා ගැනිම සම්බන්දයෙන් ද  රේගු නිලධාරින්ට නිරන්තරයෙන් චෝදනා එල්ලවේ. සියලුම රාජ්‍ය සේවකයින්  සිය පැමිණිම හා පිටවිම සටහන් කිරිම වෙනුවෙන්  ඇගලි සලකුණු යන්ත්‍ර භාවිතා කළ යුතුය. එහෙත් රේගුව විසින් එකි චක්‍ර ලේඛණ කඩකරමින්  18 වැනි පොදු  ආකෘති පත්‍රයට අනුව  පැමිණිමේ ලේඛනය භාවිතා කොට තිබුණි. රේගුවේ විවිධ අංශ වසා දමා  යතුරු භාරදි තිබියද  අතිකාල ලේඛනයේ පැමිණිම පිටවිම සටහන් කර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.ඒ අනුව  රේගුවේ නිලධාරින් සදහා වන  සාමාන්‍ය රාජකාරි  වෙලාවලින්  පිටස්තර වෙලාවන්හිදි හෝ  රාජකාරිය සදහා රේගුව වසා ඇති දිනවල හෝ  එම නිලධාරින් ඉටුකරණ සේවා සිදුවුයේ ද යන්න  විගණනයට පවා තහවුරුකරගැනිමට නොහැකිවි තිබුණි.

සාමාන්‍ය රාජකාරි  වෙලාවෙන් පරිබාහිරව  සේවයේ  යෙදුනාද, නැද්ද යන්න නොසලකා  රේගු අතිකාල අරමුදලින්  සියයට 90ක් නිලධාරින්ට ගෙවා  තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ. මෙකි අරමුදලින්  රාජ්‍ය ආදායමට බැරකොට තිබුණේ  සියයට 10ක් වැනි  ඉතා සුළු  මුදලකි. මෙකි අරමුදලින් රේගු නිලධාරින්ට 2021 වර්ෂයේ ගෙවා ඇති අතිකාල දිමනා මුදල රුපියල්  අනුහතර කෝටි අසුතුන්ලක්ෂ,විසිතුන්දහස් හාරසිය පහකි (948,323,405කි. 2022 වර්ෂයේ දි  රුපියල් අනුතුන්කෝටි, අසුටලක්ෂ,හැත්තැදෙදහස් හයසිය විස්සක මුදලක් ( 938,872,620) අතිකාල වශයෙන්  ගෙවා තිබුණි. එහෙත් මෙකි අරමුදලින් 2021 හා 2022 යන වර්ෂවලදි රජයට බැරකොට තිබුණේ රුපියල් දාසය කෝටි අනුහතරලක්ෂයකි.

2019 වර්ෂයේ සිට  අතිකාල අරමුදලේ ආදායම ඉක්මවු වියදමක් දක්නට ඇති බවද විගණනය මගින්  අනාවරණය කොට තිබුණි. රැස්කරනු ලැබු අතිකාල ආදායමට වඩා  ගෙවිම් සිදුකිරිම මේ සදහා හේතුවි තිබුණි. අතිකාල ලබා ගැනිම සදහා  රාජකාරි වෙලාවෙන් පසුව සිදුකරණු ලබන  කාර්යයන් වශයෙන්  ජල කරාම හා වායු සමිකරණ යන්ත්‍ර නිසි පරිදි වසාදමා ඇද්දැයි බැලිම, ශාඛාවන් ක්‍රමවත්ව පිරිසිදුක ඇද්දැයි බැලිම, අදි වශයෙන් පිළිගත නොහැකි කරුණු ලිඛිතව ඉදිරිපත් කොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

රේගු ත්‍යාග අරමුදලේ යටතේ ඇති උප අරමුදල්  සහ   කළමණාකරණ හා වන්දි අරමුදල  පවත්වාගෙන යාමේ  අත්‍යවශ්‍යතාවයක් නොමැති බව හදුනාගෙන ඇති බැවින්  මෙම අරමුදල් අහෝසිකර  එම මුදල් රාජ්‍ය ආදායමට බැරකිරිමට කටයුතු කරණ ලෙස  ජාතික විගණන කාර්යාලය මගින්  නිර්දේශකොට  තිබුණි..

 නිලධාරින් සදහා  වන්දිගෙවිම වැනි අවශ්‍යතාවයක් අතිවන විට  ඒ සදහා සාමාන්‍ය ක්‍රමවේද යටතේ  මහාභාණ්ඩාගාරයේ අරමුදල් ලබා ගැනිමට කටයුතු කරණ ලෙස ද විගණනය මගින් නිර්දේශ කොට ඇත.ත්‍යාග අරමුදල යටතේ මත්ද්‍රව්‍ය නිවාරණ අරමුදල,ඉන්ධන අරමුදල, සියයට 2.5 අරමුදල, වෙනත් අංශ සදහා අරමුදල  යනුවෙන්  උප අරමුදල් පිහිටුවා ඇත. මෙකි  උප අරමුදල් සදහා වාර්ෂිකව ත්‍යාග අරමුදලින් මුදල් වෙන්කරනු ලබන බවද විගණන වාර්තාවේ සදහන් වේ. මෙකි  උප අරමුදල් මගින්  වසර ගණනාවක සිට මුදල් වැය කිරිමේ   අවශ්‍යතාවයක් පැන නැගි නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.  ඒ අනුව  මෙකි උප අරමුදල  අවශ්‍යතා හදුනා ගැනිමකින් තොරව පිහිටුවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. ඉන්ධන  අරමුදල 2024 වසරේ  සිට  රේගුනිවාරණ කටයුතු සදහා යොදාගන්නා බව   රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා  විසින් විගණනයට සදහන් කොට ඇත. එමෙන්ම  කළමණාකරණ හා වන්දි අරමුදල මගින්  පසුගිය වසර 06කට  අදාලව වියදම් කළ මුදල අරමුදලට ලද  ආදායමේ ප්‍රතිශතයක් ලෙස දැක්වුවිට   එය සියයට 3 සිට 29න පරාසායක් ගෙන තිබුණි. රේගු නිලධාරින්ගේ කළමණාකරණ  සපලතාව වර්ධනය කිරිම සදහා  නිශ්චිත නිර්නායක හදුනා  ගෙන නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.  නිලධාරින්ට වන්දි ගෙවිමේ දි  අනාගත අපේක්ෂිත වියදම්  නිවරදිව සැලසුම් කිරිමකින් තොරව  මුදල් වෙන් කිරිම නිසා  අරමුදල වාර්ෂිකව අඛන්ඩව වර්ධනය විමේ තත්ත්වයක් දක්නට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

සටහන – ලලිත් චාමින්ද

What is your reaction?

Loading spinner

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *