Loading...

ගම්පෙරළිය බිම පෙරළෙන හැටි

හුදුකරයේ  ජීවත් වන දරුවන්ට විවේකයෙන් ගත කිරීමට සහ ක්‍රියාශීලී දරුපරපුරක් බිහි කිරීමේ අදහස ඇතිව මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටහිර ඉරණවිල ඉදිකර ඇති ළමා උද්‍යානය සදහා වැය කර ඇති මුදල නිශ්කාර්ය වියදමක් බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.

මෙම ළමා උද්‍යානය ඉදිකිරීම සදහා රජය විසින් වැය කර ඇති මුදල රුපියල් 927,000 කි.

2019 වසරේදී මෙරට පාලනය කරන ලද්දේ “යහපාලන” රජය විසිනි.එම රජය විසින් ක්‍රියාත්මක කරන ලද “ගම්පෙරළිය” වැඩ සටහනට අනුව මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටහිර ඉරණවිල මෙම ළමා උද්‍යානය ඉදි කර ඇත.මෙම ළමා උද්‍යානය ඉදිකිරීම සදහා රජය විසින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් වෙන් කර ඇතත් වැය වී ඇත්තේ රුපියල් 927,000 ක් පමණක් බව රජයේ විගනන දෙපාර්තමේන්තුව විසින් සිදු කර ඇති විමර්ශණයකදී අනාවරණය වී ඇත.

තොඩුවාව මෝය ආසන්නයේ ඇති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බිමක්(අනු රේඛා අංක PU/MHW/2016/122 නම් භූමිය) මෙම ළමා උද්‍යානය ඉදිකිරීම සදහා තෝරා ගෙන ඇත.ළමා උද්‍යානයේ වැඩ කටයුතු ආරම්භ කර ඇති කාලයේ තොඩුවාව මෝය කටට දකුණු පසින් පිහිටි වෙරළ තීරය දැඩි ලෙස ඛාදනය වෙමින් පැවතුණි.දකුණු දිග වෙරළ තීරයෙන් ආරම්භ වූ මෙම මුහුදු ඛාදනය ඒ වන විට සීඝ්‍රයෙන් උතුරු දෙසට ව්‍යාප්ත වෙමින් පැවතුණි.ඒ අනුව වැඩි දිනක් යන්නට පෙර තොඩුවාව මෝය පසු කරමින් උතුරු දෙසට ඇති මුහුදු වෙරළද ඛාදනය විය හැකි බවට අනුමාන කළ හැකි හේතු සාධක ඇති වන්නට තිබුණි.

නමුත් මේ කිසිවක් මායිම් කර නොමැති දේශපාලකයින් සහ නිලධාරීන් ක්‍රියාශීලී දරු පරපුරක් බිහි කිරීම සහ ඔවුන්ට විවේකයෙන් කාලය ගත කිරීමට යැයි කියා මෙම භූමිය තෝරා ගෙන එහි ළමා උද්‍යානයක් ඉදි කිරීමට කටයුතු කර ඇත.

එසේ වැඩ කටයුතු ආරම්භ කරන ලද ළමා උද්‍යානය 2020 ජනවාරි මහ 14 වැනිදා දරුවන් සතු කර ඇත්තේ සිහිවටන පුවරුවක්ද නිරාවරණය කරමිනි.ඒ ප්‍රදේශයේ දේශපාලකයින් සහ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි.

වැඩි කාලයක් ගත නොවීය.තොඩුවාව මෝයට දකුණු දෙසින් පැවති මුහුදු ඛාදනය මෝය පසු කරමින් උතුරට ගමන් කරන්නට විය.ඒ ඊට දින කීපයකට පෙර විවෘත කරන ලද ළමා උද්‍යානය සහිත භූමියද විනාශ කරමිනි.මුහුද දිනෙන් දින ළමා උද්‍යානය සහිත භූමිය ගිල ගැනීම නිසා තම දරුවන් ඒ පැත්ත පළාතක නොයවන්නට දෙමව්පියන් කටයුතු කර ඇත්තේ කිසියම් අනතුරුක් සිදු විය හැකි බවට අනුමාන කිරීමට ඕනෑ තරම් කරුණු කාරණා තිබෙන නිසාය.

“ඔය ළමා උද්‍යානය හදන්න පටන් ගන්න කොට එම ප්‍රදේශයේ මුහුදු ඛාදනයක් ඇති වෙයි කියලා අපිට නිකමටවත් හිතුනේ නෑ.අනිත් එක තොඩුවාව මෝය ළගට හවසට වාගෙම සති අන්තයේ විශාල පිරිසක් එකතු වෙනවා.අන්න ඒ නිසා තමයි ඔය තැන අපි ළමා උද්‍යානයක් හදන්න තෝරා ගත්තේ.නමුත් ස්වභාව ධර්මය අපිට වෙනස් කරන්න බැරි නිසා දැන් ඒ භූමිය මුහුදට කඩා ගෙන යනවා.ඒ නිසා අපි තීරණය කලා බටහිර ඉරණවිල ළමා උද්‍යානයේ තියන දේවල් එකින් එක ගලවා ගෙන ගිහිං වෙනත් තැන් වල සවි කරන්න. රජය විසින් ඉදිකරන මේ වාගේ දේවල් වැඩ අවසන් වුනාට පස්සේ අපි කරන්නේ අදාල ආයතන වලට බාර දෙන එක.ඒ අනුව මේ ළමා උද්‍යානය නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට බාර දීලයි තියෙන්නේ.ඒ අයටත් යුතුකමක් තියනවා ළමා උද්‍යානය විනාශ නොවී රැක ගන්න කිසියම් වැඩ පිළිවෙළක් කරන්න…..”මේ සම්බන්ධයෙන් විමසූ විට මහවැව ප්‍රාදේශීය ලේකවරිය කියා සිටියාය.

නමුත් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වන නිමල් තිසේරා මහතා පවසන්නේ ඊට හාත් පසින්ම වෙනස් කථාවකි.

“පට්ට පල් බොරු.ඔය කියන ළමා උද්‍යානය මේ වන තුරු නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවට පවරලා නෑ. සභාවට පවරා නොමැති දේපලක් රැක ගන්න කටයුතු කරන්න අපිට බැහැ. අනිත් කාරණය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති වලට අනුව වෙරළ සීමාවේ සිට මීටර් 50 ක සීමාව තුළ කිසිදු ඉදිකිරීමක් කරන්න බැහැ.එහෙම නම් කොහොමද මුහුදු වෙරළ අයිනේම මේ ළමා උද්‍යානයක් හැදුවේ කියන කාරණය අහන්න තියනවා.මෙතන සිද්ධ වෙලා තියෙන්නේ දරුවන්ට සෙල්ලම් කරන්න තැනක් හදන එක නෙමෙයි. දේශපාලකයින්ට සල්ලි ගහ ගන්න වැඩක් කරපු එක විතරයි.”

කෙසේ වෙතත් ගම්පෙරළිය වැඩ සටහනට අනුව යහපාලන රජය විසින් ආරම්භ කළ සතුටු උයන මේ වන විට මුහුද විසින් බිම පෙරළමින් සිටින බවක් දක්නට ඇත.මහජන මුදල් භාවිතා කරමින් කිසියම් කටයුත්තක් ආරම්භ කරන්නට පෙර ඒ පිළිබදව වරක්,දෙවරක් නොව තෙවරක් හිතා බැලිය යුතු බව දේශපාලකයින් තේරුම් නොගන්නේ මන්ද යන්න ගැටළුවකි.ඔවුන් ඒ බව තේරුම් ගන්නා තුරු අපට මෙවන් විනාශයන් පිළිවදව ලියන්නට සිදුවනවා ඇත.

සටහන – ජූඩ් සමන්ත


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *