පසුගියදා අවසන් වූ ඉන්දීය මහමැතිවරණයෙහි ප්‍රතිඵල නිකුත් වීමෙන් දින කිහිපයකට පසුව රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හි සර්සංග්චාලක් හෙවත් නායකයා වන මෝහන් භග්වත් එම සංවිධානයේ ක්‍රියාකාරීන් පිරිසක් අමතා කතාවක් කළා. එහිදී ඔහු පාලක භාරතීය ජනතා පක්ෂය විවේචනය කෙරෙන ආකාරයේ කරුණු කිහිපයක්ම ඉදිරිපත් කළා. සැබෑ සේවකයකු උද්දච්ඡ නොවන බව කියා සිටි ඔහු පසුගිය මැතිවරණය තුළ ආචාරශීලීත්වය දකින්නට නොවූ බවත්, අන් මතයක් දරන්නා තම එදිරිවාදියකු නොව තමන්ට වෙනස් තැනක සිටින්නකු සේ පමණක් සැලකිය යුතු බවත් භග්වත් කියා සිටියා.
වක්‍රාකාරව වුවද මෙහිදී භග්වත්ගේ විවේචනයට ලක්වූයේ භාරතීය ජනතා පක්ෂය බව පැහැදිලි කරුණක්. නමුත් මනිපූර් ප්‍රාන්තය පිළිබඳ සඳහන් කිරීමේදී භග්වත් ඊට වඩා ඍජු ලෙස එම විවේචනය සිදුකළා. වසර දහයක් මුළුල්ලේ මනිපූරය සාමකාමීව පැවති නමුත් පසුගිය වසරේදී එහි සාමය බිඳවැටී ඇති බව පැවසූ ඔහු ඊට වගකිවයුතු පාර්ශව කවුරුන් දැයි ප්‍රශ්න කර සිටියා. එම ප්‍රාන්තය පාලනය කරනු ලබන්නේ ද භාරතීය ජනතා පක්ෂය විසින්.
භග්වත් කෙලින්ම විවේචනය නොකළත් රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හි වෙනත් ප්‍රබලයින් කිහිපදෙනකු ම මාධ්‍ය හමුවේ භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකලාපය විවේචනය කළේ ඔවුන් උද්දච්ඡ ලෙස කටයුතු කළ බව සඳහන් කරමින්.
මැතිවරණයේ ප්‍රතිඵල භාරතීය ජනතා පක්ෂය බලාපොරොත්තු වූ තරම් යහපත් නොවූ හෙයින් භග්වත් ඒ පිළිබඳ දරන මතය කුමක් වේදැයි බොහෝදෙනාගේ අවධානය යොමුව තිබූ අවස්ථාවකයි ඔහු මෙම කතාව සිදුකළේ.
මේ විවේචනය වැදගත් වන්නේ මෙය භාරතීය ජනතා පක්ෂයේ ආධ්‍යාත්මික මූලය වන රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් වෙතින් එන විවේචනයක් වීම නිසයි. එම විවේචනයට බලපෑ කරුණු ගැන සාකච්ඡා කරන්න මත්තෙන්, අපි මේ සංවිධානය ගැන යමක් මතක් කරගැනීම වැදගත් වනවා.
සංග් පරිවාරය
1925 සැප්තැම්බර් 27 වනදා නාග්පූර් නගරයේදී අරඹන ලද හින්දු ජාතිකවාදී සංවිධානයක් වන රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් යනු අද වනවිට ඉන්දියාවේ සතර දිග්භාගයේම පැතිර ගිය දැවැන්ත සංවිධානයක්. එමෙන්ම එම සංවිධානයට අනුබද්ධිතව විවිධාකාර සංවිධාන නිර්මාණය කරනු ලැබ තිබෙනවා. ඒ අතර භාරතීය මස්දූර් සංග් (ඉන්දියානු කම්කරු සංවිධානය), භාරතීය කිසාන් සංග් (ඉන්දීය ගොවි සංවිධානය), අඛිල් භාරතීය විද්‍යාර්ථි පරිශද් (සමස්ථ ඉන්දියානු ශිෂ්‍ය සංගමය), විශ්ව හින්දු පරිශද් යනාදී සංවිධාන තිහකට වඩා පවතිනවා. කොටින්ම භාරතීය ජනතා පක්ෂයත් රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හි අනුබද්ධිත ආයතනයක් වනවා. ඒ අයුරින් බලද්දී රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් යනු භාරතීය ජනතා පක්ෂයේ මුල් සංවිධානයයි.
මෙම අනුබද්ධිත ආයතනවල සෑම කටයුත්තක්ම ඍජුව රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් විසින් පාලනය කෙරෙන්නේ නැහැ. ඒවාට ඒවායේ ස්වාධීන වූ මාවතක් තිබෙනවා. නමුත් රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හි බලපෑම සහ මතවාදය ඒවා තුළ ක්‍රියාත්මක වනවා. මෙම ආයතනවල මුල් පුටු සාමාන්‍යයෙන් හිමිවන්නේ රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හි සාමාජිකයන්ටයි. ඒ ආකාරයෙන් ඒවායේ එකමුතුව තබාගනු ලබනවා. මෙම සංවිධාන ජාලයට සංග් පරිවාරය (සංවිධාන පවුල) යයි කියනු ලබන අතර භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන බලයට ද සංග් පරිවාරයෙන් ලැබෙන පෝෂණය ඉවහල් වනවා. මේ නිසා රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හි හොඳහිත බීජේපීයට ඉතා වැදගත් වනවා.
බීජේපීයට RSS එපා ද?
2024 ඉන්දීය මහමැතිවරණය අතරවාරයේදී භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයා වූ ජේ.පී. නඩ්ඩා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා. භාරතීය ජනතා පක්ෂයට මැතිවරණ ජයගැනීම සඳහා තවදුරටත් රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් අවශ්‍ය නැති බව එම ප්‍රකාශයයි. 2014 සහ 2019 වසරවල ලැබූ මහමැතිවරණ ජයග්‍රහණ, පසුගිය සමයේ ලද ප්‍රාන්ත සභා මැතිවරණ ජයග්‍රහණ සහ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජනප්‍රියත්වය වැනි කරුණු මෙම ප්‍රකාශයට හේතු වන්නට ඇති. මෙම ප්‍රකාශය සම්බන්ධව මෝදි හෝ ඔහුගේ සමීපතමයකු හෝ පැහැදිලි කිරීමක් ද කළේ නැහැ. එසේ නම් මෝදි ද එම ප්‍රකාශය අනුමත කළ බවට අපට අනුමාන කළ හැකියි. මෙය එක්තරා විදියකින් පසුගිය වසර දහයක කාලය තුළ භාරතීය ජනතා පක්ෂය ලබාගත් බලය හේතුවෙන් පැමිණි අධිතක්සේරුවක් ලෙස පෙනී යනවා.
සත්‍ය වශයෙන්ම කිසියම් ආකාරයකින් තමන්ට සම්බන්ධ දේශපාලන පක්ෂයට විශාල බලයක් ලැබුණහොත් මෙවැනි තත්ත්වයක් මතුවිය හැකි බවට රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හි පැරැණි නායකයින් දැන සිටියා. ඒ බව පෙන්නුම් කෙරෙන අවස්ථාවක් වූයේ රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් ක්‍රියාකාරිකයකු සහ පසුව භාරතීය ජන සංග් පක්ෂයේ (භාරතීය ජනතා පක්ෂයේ පුරෝගාමී දේශපාලන පක්ෂය) නායකයකු වූ දීන් දයාල් උපාධ්‍යාය පළකරන ලද අදහසක්.
රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් දේශපාලන සංවිධානයක් නොවූ නිසා එය දේශපාලනයට පැමිණීම පිළිබඳ එහි ස්වයම්සේවක්වරුන් සමහරුන්ට වූයේ ගැටළුවක්. එවන් එක් සංවාදයකදී එක් ස්වයම්සේවක්වරයකු සහ උපධ්‍යාය අතර මෙවන් සංවාදයක් ඇතිවුණා.
“බලය විසින් දූෂණය ඇති කරන බවත් අසීමාන්තික බලය විසින් අසීමාන්තික දූෂණය ඇතිකරන බවත් ඔබ පිළිගන්නවාද?”
“ඔව්.”
“එසේ නම්, ජන සංග් වෙත බලය ලැබුණත් එය සිදුවන්න පුළුවන් නේද?”
“ඔව්. වෙන්න පුළුවන්.”
“ඒ ගැන ගන්නා පියවර කුමක්ද?”
“එයට එරෙහිව සංග් හි (රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග්) බලය ක්‍රියාත්මක වනු ඇති.”
පසුගියදා රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් ප්‍රධානීන් සිදුකළේ ඔවුන්ට අනුව, භාරතීය ජනතා පක්ෂය වැරදි මගක ගමන් කරන අවස්ථාවක එය විවේචනය කිරීම යයි කෙනකුට තර්ක කළ හැකියි. මැතිවරණ ව්‍යාපාරය අතරතුරදී ද භාරතීය ජනතා පක්ෂ සාමාජිකයන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් ස්වයම්සේවක්වරුන් එතරම් ප්‍රසාදයෙන් නොසිටි බවත්, ඔවුන් පෙරදී මෙන් භාරතීය ජනතා පක්ෂය වෙනුවෙන් එතරම්ම උද්‍යෝගයෙන් කටයුතු නොකළ බවත් ඇතැම් ඉන්දීය මාධ්‍යවේදීන් වාර්තා කළා. මෙය, විශේෂයෙන්ම හින්දි හදබිමෙහි (එනම් උත්තර් ප්‍රදේශ් යනාදී උතුරුදිග ඉන් දියාවේ) භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිඵල අඩුවීමට හේතුවක් වන්නට ඇතැයි ද අනුමාන කළ හැකියි.
සංග් පරිවාරය දැවැන්ත සංවිධාන එකමුතුවක් වන අතර එහි ආධ්‍යාත්මික මූලයෙහි පූර්ණ සහය බීජේපීයට නොලැබෙන්නේ නම් එය සුළුපටු කරුණක් නොවේ. මෙම තත්ත්වය කිසිසේත්ම 1984 මහමැතිවරණය මෙන් වන්නට නැහැ. එම මැතිවරණයේදී රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් සාමාජිකයන් වැඩිදෙනකුගේ සහය හිමිවූයේ කොන්ග්‍රස් පක්ෂයටයි. මෙවර සංග් සාමාජිකයන් වෙනත් පක්ෂයක් වෙත ඇදී ගියේ යැයි කිව නොහැකියි. නමුත් ඔවුන් තවත් ඡන්ද එකතු කරදීම නම් සිදුකර නැති බවයි පෙනෙන්නේ.
මනිපූර් විවේචනය
භග්වත්ගේ මනිපූර් විවේචනය මැතිවරණ ප්‍රතිඵල සමග ඍජුව සම්බන්ධ වූවක් යයි පෙනී යනවා. පසුගිය වසරේ මනිපූර් හි ප්‍රචණ් ඩ ක්‍රියා ඇතිවූයේ හින්දු මෙයිතිවරුන් සහ ක්‍රිස්තියානි කුකි ගෝත්‍ර අතරයි. ප්‍රාන්තයේ බීජේපී ආණ්ඩුව එය පාලනයට ප්‍රමාණවත් ලෙස කටයුතු නොකළ බවට චෝදනා මතුව තිබුණා. කෙසේ වෙතත් එම වසරේ විජයදශමි (දසේරා) දින කතාවේදී භග්වත් කියා සිටියේ මනිපූර් හි ප්‍රචණ්ඩ ක්‍රියාවල වාසිය ඇත්තේ විදෙස් බලවේගවලට බවයි. විදෙස් බලවේග එම ප්‍රචණ් ඩත්වය පිටුපස සිටිය හැකියැයි ඔහු කියා සිටියා. (රාශ්‍ත්‍රීය ස්වයම්සේවක් සංග් නායකයා සෑම වසරකම විජයදශමි දිනයේ කතාවක් කරනවා. 1925 දී එම සංවිධානය අරඹන ලද්දේ විජයදශමි දිනයේදී යි).
මාස කිහිපයකට පසුව, දැන් භග්වත් මනිපූර් හි සිදුවීම්වලට චෝදනා කරනු දිස්වන්නේ බීජේපීයට යි. එයට හේතුවක් වන්නට ඇත්තේ මහමැතිවරණයේදී මනිපූර් හි ආසන දෙකම බීජේපීය පරාජය වීමයි.
මනිපූර් හි අභ්‍යන්තර මනිපූර් සහ බාහිර මනිපූර් යයි පාර්ලිමේන්තු ආසන දෙකක් වනවා. මෙයින් බාහිර මනිපූරය ගෝත්‍රික ජනයා වැඩියෙන් ජීවත්වන ප්‍රදේශ ආවරණය කරන අතර අභ්‍යන්තර මනිපූරය ඉම්පාල් නිම්නය ආවරණය කරනවා. හින්දු මෙයිතිවරුන් ජීවත්වන්නේ එහියි. නමුත් මෙවර මැතිවරණයේදී එම හින්දූන් පවා බීජේපීය ප්‍රතික්ෂේප කිරීම වැදගත් සංඥාවක් වුණා. මනිපූරයේ ප්‍රචණ්ඩත්වය නිම වියයුතු බවත් එයට බීජේපීය අසමත් බවත් එම සංඥාවෙන් කියැවුණා. භග්වත්ගේ විවේචනය පසුපස ඇත්තේ ද එම පණිවිඩයයි.
මෙහිදී තවත් වැදගත් කරුණක් තිබෙනවා. මනිපූර් හි මහ ඇමති බිරේන් සිං සංග් පරිවාරයේ අයකු නොවේ. ඔහු කොන්ග්‍රස් පක්ෂයෙන් බීජේපීයට එක් වූ අයෙක්. එහෙයින් භග්වත්ට ඔහුව ඉලක්ක කිරීම පහසු වන්නට ඇති.
මනිපූරයට ඍජුව සම්බන්ධ නොවෙතත්, දේශපාලන බලය වෙනුවෙන් ප්‍රතිපත්තියක් නැති පුද්ගලයන් සේ තමන් දකින අය සමග එක්වීම රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් රුස්සන්නේ නැහැ. මෙවර ද බීජේපීයට නොබෝදා එක්වූ සමහරුන්ට පක් ෂය විසින් පාර්ලිමේන්තුවට තරග කිරීමට අවස්ථාව දෙනු ලැබුණා. ඇතැම්විට එම අපේක් ෂකයන්ට ස්වයම්සේවක්වරුන් සහය නොදැක්වූ බවයි වාර්තා වන්නේ. බීජේපීය කිසියම් ප්‍රතිපත්තියක් අනුගමනය කළයුතු බවත්, බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවාදීම නොකළ යුතු බවත් ඔවුන් විශ්වාස කරනවා.
වර්තමානයේ ඇතිවූ බව පෙනී යන ආර්.එස්.එස්. සහ බී.ජේ.පී. දුරස්ථවීම දිගු කලක් තිබෙනු ඇතැයි සිතන්නට අපහසුයි. දෙපාර්ශවයටම, දෙපාර්ශවය අවශ්‍ය වීම ඊට හේතුවයි. එහෙත්, ප්‍රසිද්ධියේ මෙතරම් විවේචන කරන්නේ නම් අප්‍රසිද්ධියේ වන විවේචනය මීට වඩා බරපතල වන්නට ඇති බව අනුමාන කිරීම අපහසු නැහැ. බීජේපීයට එම විවේචන නොසලකා හැරීමට ද පහසු වන්නේ නැහැ. රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් විවේචන නොසලකා හැර ඉදිරියට යන්නට තීරණය කළහොත් මෙම දුරස්ථවීම සංග් පරිවාරය තුළ වඩා බරපතල අර්බුදයක් ඇතිකළ හැකියි.
සටහන – චාමර සුමනපාල
Leave a Reply