Loading...

මැක්‍රොන්ගේ අවදානම් තීරණය

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය උදෙසා ප්‍රංශයෙහි ඡන්ද විමසීම පවත්වන ලද්දේ ජූනි 9 වනදා යි. එය යුරෝපා මැතිවරණයෙහි අවසන් දිනය ද වුණා. එදින රාත්‍රිය වනවිට ප්‍රතිඵල පිළිබඳ අනාවැකි පළවූ අතර අන්ත දක්ෂිනාංශික පක්ෂ ප්‍රංශයේදී මැක්‍රොන්ගේ පක්ෂයට වඩා බෙහෙවින් ඉහළ ප්‍රතිඵලයක් ගන්නා බව එමගින් පෙන්නුම් කෙරුණා. ජාතික රැළිය පක්ෂයේ නායක ජොර්දාන් බර්දෙලා මැක්‍රොන්ට අභියෝග කළේ ජාතික සභාව විසුරුවාහැර මැතිවරණයක් කැඳවන ලෙසයි. මැක්‍රොන් එම අභියෝගය පිළිගනිමින් ජාතික සභාව විසුරුවා හැරියා.

යුරෝපා මැතිවරණයේදී දක්ෂිනාංශික කඳවුර සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි යන අනාවැකිය කලින් සිටම ලැබී තිබුණා. නමුත් මැක්‍රොන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සමස්ථ යුරෝපා දේශපාලනයම දෙදරුම් කවන්නට සමත් වූ පියවරක් වුණා.

මැක්‍රොන්ගෙ මේ පියවර ගැන සාකච්ඡා කරන්න කලින්, අපි යුරෝපා මැතිවරණය සහ එහිදී සිදුවූ දේ ගැන ටිකක් හැරිලා බලමු.

යුරෝපා මැතිවරණය

යුරෝපා පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තෝරාගන්න සෑම වසර පහකටම වතාවක් යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනවා. මෙය යුරෝපා සංගමයේ රටවල් 27 පුරාම පැවැත්වෙන මැතිවරණයක්. මේ රටවලින් යුරෝපා පාර්ලිමේන්තුවට යැවෙන මන්ත්‍රීන් ගණන තීරණය වෙන්නෙ ඒ ඒ රටේ ජනගහනය අනුවයි. එක් එක් රටවල මැතිවරණය පැවැත්වෙන සහ මන්ත්‍රීන් තෝරාගන්න ක්‍රමවල පොඩි පොඩි වෙනස්කම් තියෙනව​. නමුත් පොදුවේ ගත්තාම සමානුපාත ක්‍රමයකට තමයි මන්ත්‍රීන් තෝරාගැනෙන්නෙ. 2024 අවුරුද්දෙදි සමස්ථයක් ලෙස යුරෝපා පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් 720 ක් තෝරාගැනුණා.

කිසියම් රටක මැතිවරණය පැවැත්වෙද්දි ඒ රටේ පක්ෂ තමයි ඊට තරග කරන්නෙ. ඒ කියන්නෙ, ජර්මනියෙදි ජර්මනියෙ දේශපාලන පක්ෂ තරග කරනව​; ප්‍රංශෙදි ප්‍රංශෙ දේශපාලන පක්ෂ තරග කරනව යනාදී වශයෙන්. නමුත් යුරෝපා පාර්ලිමේන්තුවෙදි මේ පක්ෂවල අය යුරෝපීය කණ්ඩායම් කිහිපයක් විදියට එකතු වෙනව​. සාමාන්‍යයෙන් මධ්‍ය දක්ෂිනාංශික පක්ෂවල අය එකතුවෙන යුරෝපීය මට්ටමේ දේශපාලන පක්ෂය තමයි යුරෝපියානු ජනතා පක්ෂය​. මධ්‍ය වාමාංශිකයන් එක්කාසු වෙන්නෙ සමාජවාදීන්ගේ හා ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ප්‍රගතිශීලී සන්ධානය කියන පක්ෂය විදියට​. ලිබරල්වාදීන්ගෙ ප්‍රධාන කඳවුර යළි අලුත්වෙමු (Renew) කණ්ඩායමයි. දේශපාලනික වශයෙන් එහි නායකයා ලෙස සැලකෙන්නෙ මැක්‍රොන්. මොකද ඔහුගෙ රෙනේසෝන්ස් පක් ෂය ඇතුළු ඔන්සොම් බ්ල සන් ධානය එහි ප්‍රධාන කොටස්කරුවෙක්. මේ අතරෙ, හරිත පක්ෂ එකතු වෙන තැන තමයි හරිතවාදීන්/යුරෝපීය නිදහස් සන්ධානය (The Greens/European Free Alliance) කියන පක්ෂය​. මේ කණ්ඩායම් හතර යුරෝපා සංගමය ශක්තිමත් වියයුතුය කියන තැන ඉන්න පිරිස විදියට අපට හඳුන්වන්න පුළුවනි.

මීට අමතරව යුරෝපා සංගමය ශක්තිමත් වීම ගැන විවේචනාත්මක අදහස් තියෙන​, ජාතික ස්වෛරීත්වය ගැන වැඩියෙන් කතා කරන දක්ෂිනාංශික කඳවුරු දෙකකුත් යුරෝපා පාර්ලිමේන්තුවෙ තියෙනව​. එයින් එකක් යුරෝපියානු කොන්සර්වේටිව්වාදීන් සහ ප්‍රතිසංස්කරණවාදීන් (ECR) කියන කණ්ඩායම​. අනෙක් එක තමයි අනන්‍යතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය (ID) කණ්ඩායම​.

මීටත් අමතරව අන්ත වාමවාදී කණ්ඩායම් “වම​” විදියට සංවිධානය වෙනව​. මේ කිසිදු කණ්ඩායමකට අයත් නොවන පිරිසකුත් සිටිනවා. මේ වෙලාවෙ ජර්මනියෙ තියෙන අන්ත ජාතිකවාදී යයි සැලකෙන ජර්මනිය සඳහා විකල්පය (AfD) පක්ෂය තියෙන්නෙත් මෙන්න මේ කිසිවකට අයත් නැති පිරිස අතරෙයි. ඔවුන් කලින් අනන්‍යතාව සහ ප්‍රජාතන්ත්‍රවාදය කණ්ඩායමට අයත් වූ නමුත්, ඒ අයටත් ඔවුන් දැඩි මතධාරී වැඩි නිසා ඔවුන්ව එම කණ්ඩායමෙන් එළවා දැමුණා.

මේ වතාවෙ යුරෝපා පාර්ලිමේන්තු මතිවරණයෙදි මේ එක් එක් කණ්ඩායම් කොතරම් විශාල වුණාද කියන එක සහ බහුතරයක් හදාගන්න තියෙන විකල්ප ගැන පහත ග්‍රැෆික් එකෙන් අපට බලාගන්න පුළුවන්. පොලිටිකෝ වෙබ් අඩවියෙ අය මේ ග්‍රැෆික් එක හදලා තිබ්බෙ අවසන් ප්‍රතිඵල එන්න කලින්. නමුත් මෙහි ලොකු වෙනසක් වෙන්නෙ නැහැ. අපි අද වැඩියෙන් සාකච්ඡා කරන්නෙ ප්‍රංශය ගැන නිසා මේ වෙලාවෙ මේ ගැන ලොකුවට කතාකරන්න වෙලාව ගන්නේ නැහැ. මේ මැතිවරණයේ පසුබිම දන්නේ නැති කෙනෙක් වේ නම් එය වැදගත් වෙන නිසා තමයි මේ කරුණු සාකච්ඡා කළේ.

එතකොට​, ප්‍රංශෙදි මොකද වුණේ?

ප්‍රංශය කියන්නෙ මේ වෙලාවෙ යුරෝපා සංගමයට ඉතාම වැදගත් රටක්. කලක් තිස්සේ යුරෝපයේ විවිධ අර්බුද මතුවෙද්දි ප්‍රංශය සහ ජර්මනිය තමයි යුරෝපය ස්ථාවරව තියාගන්න උත්සාහ කළේ. විශේෂයෙන්ම ප්‍රංශයෙ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සහ ජර්මනිය චාන්සලර් ඇන්ගෙලා මර්කල් කියන දෙන්නා මෙහිදී බොහොම එකමුතුව කටයුතු කළා. ඒ වගේම යුරෝපයට ස්වාධීන ආරක්ෂක වැඩපිළිවෙලක අවශ්‍යතාව වැනි කරුණු ගැන මැක්‍රොන් කතාබහ කරනවා. ප්‍රංශය මේ විදියට යුරෝපයේ නායකත්වය ගැනීමට උත්සාහ කිරීමත් අද ඊයෙ දෙයක් නෙවෙයි. ඒකටත් දිග ඉතිහාසයක් තිබෙනවා. නමුත් ඒ ගැන සාකච්ඡා කිරීමට මෙය අවස්ථාව නෙවෙයි.

මෙවර යුරෝපා මැතිවරණයෙදි ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික ජාතික රැළිය පක්ෂය සියයට 31 ක් ඉක්මවූ ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ප්‍රංශයට හිමි යුරෝපා පාර්ලිමේන්තු ආසන 81 න් ආසන 30 ක්ම දිනාගත්තා. මැක්‍රොන්ගෙ පුනරුදය (Renaissance) පක්ෂය ප්‍රමුඛ අන්සම්බ්ල සන්ධානය​ ලබාගත්තෙ සියයට 14.56 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ඔවුන්ට ආසන 13 ක් ලැබුණා. මේ අතර පසුගිය සමයේ කඩාවැටී හිටපු සමාජවාදී පක්ෂයත් ආසන 13 ක් දිනාගත්තා. අන්ත වාමාංශික පක්ෂයක් වන “යටහත් නොවූ ප්‍රංශය​” (La France Insoumise) ආසන 9 ක් දිනාගත් අතර සම්ප්‍රදායික මධ්‍ය දක්ෂිනාංශික පක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය ආසන 6 ක් දිනාගත්තා. පරිසරවාදීන්ටත් ආසන 6 ක් ලැබුණා. මේ අතර ජාතික රැළියටත් වඩා අන්තවාදී දක්ෂිනාංශික පක්ෂයක් වන රීකොන්ක්වෙස්ට් පක්ෂය ආසන 5 ක් දිනාගත්තා. ජාතික රැළිය පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායිකා මාරීන් ලෙ පෙන්ගෙ සහෝදරියකගෙ දියණියක වන මාරියන් මරෙශාල් මේ පක්ෂයේ ප්‍රබල චරිතයක්.

ජීවන වියදම, පාරිසරික ප්‍රතිපත්ති, සංක්‍රමණික ප්‍රතිපත්ති, යුක්‍රේනයේ යුද්ධය සහ ආරක්ෂක වියදම් යනාදී කරුණු ප්‍රංශ ඡන්දදායකයාට මෙවර මැතිවරණයේදී වැදගත් වනු ඇතැයි සිතිය හැකියි. ජාතිකවාදී කඳවුර සංක්‍රමණිකයන් සීමා කිරීම පිළිබඳ පෙනී සිටින අතර දේශගුණික විපර්යාසය පිළිබඳ කටයුතු කිරීම එහි ප්‍රමුඛතා අතර නැහැ.

ජාතික සභාව විසුරුවා හැරේ

ප්‍රංශ ව්‍යවස්ථාදායකයෙහි පහළ මන්ත්‍රී සභාව වන්නේ ජාතික සභාවයි. මෙහි මන්ත්‍රීන් 577 ක් වනවා. යුරෝපා මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ මූලික අනුමාන නිකුත් වූ වහාම ජාතික රැළිය පක්ෂයේ නායක ජොර්දාන් බර්දෙලා ජනාධිපති මැක්‍රොන් වෙත අභියෝගයක් ඉදිරිපත් කළා. එනම්, ජාතික සභාව විසුරුවා හැර මැතිවරණයක් කැඳවන ලෙසයි. ඇතැම්විට​, මැක්‍රොන් ඒ වනවිටත් එම තීරණය ගෙන තිබුණා විය හැකියි. ස්වල්ප වෙලාවකට පසු ජාතිය ඇමතූ මැක්‍රොන් ජාතික සභාව විසුරුවා හරින බව නිවේදනය කළා. නව මැතිවරණයේ පළමු වටය ජූනි 30 වනදාත්, දෙවන වටය ජූලි 7 වනදාත් පැවැත්වෙන බවයි ඔහු කියා සිටියේ.

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය තරමක් වෙනස් එකක්. ජාතික සභාවේ මන්ත්‍රීන් 577 ක් සිටිනවා. ඔවුන් තෝරාගැනෙන්නේ කේවල ක්‍රමයක් මගින්. එනමුත් එය බ්‍රිතාන්‍යයේ, ඉන්දියාවේ හෝ ඇමරිකාවේ තිබෙන ක්‍රමයට වඩා වෙනස්. එවන් රටවල කිසියම් ආසනයකට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතුරින් වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අපේක්ෂකයා ව්‍යවස්ථාදායකයට තේරී පත්වනවා. එහෙත් ප්‍රංශ ක්‍රමය වට දෙකකින් පැවැත්වෙන මැතිවරණයක්.

කිසියම් ආසනයක කිසියම් අපේක්ෂකයකු, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ක් ඉක්මවූ ඡන්ද සංඛ්‍යාවක් ලබාගතහොත් සහ ඔහු/ඇය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලියාපදිංචි සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 25 ක් ඉක්මවා යන්නේ නම්, ඔහු/ඇය පළමු වටයෙන්ම ජාතික සභාවට තේරී පත්වනවා. එසේත් නැතිනම් තරගය දෙවන වටයකට යනවා. එම ආසනයෙන් පළමු සහ දෙවන ස්ථානයන්ට පැමිණි දෙදෙනා දෙවන වටයට සුදුසුකම් ලබනවා. ඊට අමතරව සමස්ථ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 12.5 ඉක්මවූ වෙනත් අපේක්ෂකයකු සිටියොත්, ඔහු/ඇය ද දෙවන වටයට සුදුසුකම් ලබනවා. දෙවන වටයෙන් වැඩිම ඡන්ද ලබන්නා ජාතික සභාවට තේරීපත් වනවා.

විසුරුවා හැරියේ ඇයි?

මැක්‍රොන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව පැහැදිලි කිරීමේදී කියා සිටියේ අන්ත දක්ෂිනාංශය නැගීම අයහපත් දෙයක් බවයි. ඔවුන්ට රාජ්‍ය පාලනය කළ නොහැකි බවයි මැක්‍රොන්ගේ මතය වන්නේ. එමෙන්ම ප්‍රංශය මුහුණදෙන බාහිර තර්ජන​, දේශගුණික විපර්යාසයේ බලපෑම සහ ප්‍රංශයේ එක්සත්භාවය පිළිබඳ ගැටළු ගැන පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය බව ඔහු කියා සිටියා. ජනතාව වෙත එම අදහස් ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ගේ ජනමතය ලබාගත හැකි යයි ඔහු විශ්වාසය පළ කළා.

ඇත්තෙන්ම මැතිවරණයක සියයට 15 ක් ලබාගත් සන්ධානයක් නියෝජනය කරන ජනාධිපතිවරයකු වශයෙන් ඔහුට ජනවරම පිළිබඳ පැහැදිලි ගැටළුවක් මතුව තිබෙනවා. පැවති ජාතික සභාවේ මැක්‍රොන්ගේ පක්ෂයට බහුතර බලය නොමැති වුවද වැඩිම ආසන සංඛ්‍යාව තිබූ සන්ධානය වූයේ එයයි. අනෙකුත් කණ්ඩායම් එකතු කරගෙන හෝ නැතිව හෝ ආණ්ඩුව කරගෙන යාමට යම් හැකියාවක් ඒ තුල තිබුණා. එහෙයින් ඔහු ගත් තීරණය විවාදාත්මක එකක්. අනෙක් අතට තමන්ට ජනමතයක් නොමැති හෙයින් මීළඟ වසර තුනක පමණ කාලයක් රාජ්‍ය පාලනය කිරීමේදී මුහුණදිය හැකි ගැටළු ගැන ඔහුට අදහසක් තිබෙන්නට ඇති. එහෙයින් ජනමතය ලබාගැනීම සඳහා මැක්‍රොන් මේ අවදානම් සහිත තීරණය ගෙන තිබෙනවා.

ජනාධිපති මැක්‍රොන් මෙහිදී බලාපොරොත්තු වනු ඇත්තේ කඩිනම් මැතිවරණයක් පැවැත්වීම මගින් සිය ප්‍රතිවාදීන්ට සූදානම් වීමට කාලයක් ලබානොදීමේ වාසිය ද ලබාගැනීමයි. එමෙන්ම යුරෝපා මැතිවරණයක් සහ මහමැතිවරණයක් යනු එකිනෙකට වෙනස් කරුණු දෙකක්. යුරෝපා මැතිවරණයකදී ජනතාව ඡන්දය භාවිතා කළාට වඩා වෙනස් ආකාරයකින් මහමැතිවරණයේදී ඔවුන් ඡන්දය දෙනු ඇතැයි මැක්‍රොන් අපේක්ෂා කරන්නට ඇති. එමෙන්ම අන්ත දක් ෂිනාංශයේ නැගීම නවත්වන්නට හැකි තමන්ට හෙයින් තමා වෙනුවෙන් ඡන්දය දෙන ලෙස ඉල්ලා සිටීමේ ක්‍රමය මෙහිදී ඔහු අනුගමනය කරන අතර එයින් වාසියක් ලබාගන්නට අපේක් ෂා කරනවා.

වමේ සන්ධානය දකුණේ අර්බුද​

නමුත් මේ අවසන් කරුණේදි ඔහුට බලාපොරොත්තු නොවූ ආකාරයේ අභියෝගයක් එල්ල වනවා. එය සිදුවන්නේ වමෙන්. ප්‍රංශයේ ප්‍රධාන වාමාංශික පක්ෂ සහ හරිත පක්ෂය වන පරිසරවේදී පක්ෂය මෙවර සන්ධානගතව මැතිවරණයට මුහුණදීමට තීරණය කළා. මෙය අලුත් දෙයක් නොවුණත්, මේ වතාවේ එවැන්නක් සිදුවේ යයි සමහරුන් බලාපොරොත්තු වූයේ නැහැ. 2022 මහමැතිවරණයේදී ද මෙවැනි සන්ධානයක් බිහිවූ නමුත් එම සන්ධානය පසුකාලීනව කැඩී විසිරී ගියා. එහෙයින් මෙවැනි සන්ධානයක දිගුකාලීන පැවැත්ම ගැන සැකයක් තිබෙනවා. නමුත් වමේ පක්ෂ සන්ධානයක් ලෙස එක්වීම තුළින් ජාතිකවාදී කඳවුරට සැලකිය යුතු අභියෝගයක් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් මැක්‍රොන් අපේක්ෂා නොකළ වෙනත් දෙයක් සිදුවීමෙහි අවදානමක් ද මතුව තිබෙනවා. එනම්, ජාතිකවාදීන් සහ වාමවාදීන් පළමු ස්ථාන දෙකට තරග කරද්දී මැක්‍රොන්ගේ සන්ධානය තුන්වෙනි තැනට විසිවී යාම යි.

ප්‍රංශ මැතිවරණ ප්‍රතිඵලය ගැන නැවත මතක් කරගතහොත් මෙහිදී මැක්‍රොන් මුහුණදෙන අවදානමේ තරම ඔබට වැටහේවි. ඉතාම කලාතුරකින් ආසනයකදී හැරෙන්න​, තරගය සාමාන්‍යයෙන් දෙවැනි වටයකට ඇදෙනවා. පළමු වටයේදී මැක්‍රොන්ගේ අපේක්ෂකයන් වැඩි දෙනෙක් තුන්වෙනි තැනට තල්ලු වුනොත්, ඔවුන් දෙවැනි වටයේදි දකින්නවත් නැති වේවි. එම අවදානම මේ අවස්ථාවේ මතුවී තිබෙනවා.

කෙසේ වෙතත් මැක්‍රොන් මෙහිදී ජාතිකවාදී කඳවුර වෙත ඇදෙන ඇතැම් පිරිස් තමන් වෙත ආකර්ශනය කරගන්නට උත්සාහ කරන්නට ඉඩ තිබෙනවා. මේ අතර​, සම්ප්‍රදායිකව ප්‍රංශයේ ප්‍රධාන දක්ෂිනාංශික පක්ෂය වූ රිපබ්ලිකන් පක්ෂයේ අභ්‍යන්තර අර්බුද හමුවේ එහි ආධාරකරුවන් ද තමන් වෙත ඇදගන්නට මැක්‍රොන් අපේක්ෂා කරනවා විය හැකියි.

රිපබ්ලිකන් පක්ෂයේ අර්බුදයට හේතු වූයේ එහි නායක එරික් සියොට්ටි, ජාතික රැළිය සමග සන්ධානයක් ගොඩනගා ගැනීමට ක්‍රියා කළයුතු බව පැවසීමත් සමගයි. එම පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් ඔහුව නායකත්වයෙන් ඉවත් කරන ලද බව ප්‍රකාශ කළා. නමුත් ඔහු එම තීරණය නිත්‍යනුකූල නොවන බව පවසනවා.

කෙසේ වෙතත්, මේ මැතිවරණය ප්‍රංශ දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරනු ඇති. 2027 ජනාධිපතිවරණයේදී ජාතික රැළියේ මාරීන් ලෙ පෙන් ජයගත හැකි යයි අනාවැකි පළවනවා. එම පසුබිමේ ප්‍රංශයේ සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳ විශාල විවාදයක් ඇතිවීම ස්වභාවිකයි. ඒ අතරම ප්‍රංශ ආර්ථිකයට මෙම ජනතාව විසින් දක්වන දායකත්වය ද වැදගත්, නමුත් ඇතැම්විට දේශපාලන විවාදයන් මැද අමතක වන කරුණක්. ප්‍රංශ ශ්‍රම බලකායෙන් සියයට 10 ක් පමණ සංක්‍රමණිකයන් වන අතර ඇතැම් ක්ෂේත්‍රවල එම ප්‍රතිශතය සියයට දහයට ද වැඩියි.

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයකදී මේ කරුණ එතරම් වැදගත් නොවුණත්, දේශීය මැතිවරණයකදී එය වැදගත් කරුණක් ලෙස ජනතාව විසින් සලකනු ඇතැයි මැක්‍රොන් බලාපොරොත්තු වනවා ඇති.

සටහන – චාමර සුමනපාල


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *