Loading...

නාමල් ගමෙන් වෙනස් වුනු වව්නියාවේ ජන ජීවිතය

වවුනියාව දිස්ත්‍රීක්කය තුළ ඉකුත් වසර දහයක කාළසීමාව තුළ වන අලින් 78 දෙනකු පමණ මිය ගොස් ඇති බව වවුනියාව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. තෙරතුරු දැනගැනීම් පනත යටතේ අප කළ විමසුමකදී එම දෙපාර්මේන්තුව මේ බව අනාවරණය කරන ලදි . අදාල ගැටළුව පිළිබද අදහස් දක්වන වවුනියාව මහකච්චකොඩිය ගම්මානයේ කමල් සෙනවිත්න මහතා පවසා සිටියේ ” අපේ පැති වලට මෙයිට අවුරුදු කීපයකට ඉහත මේ විදියේ වන අලි තර්ජන තිබුනේ නෑ. දැන් අලි හිටපු කැළේ සෑහෙන් කපලා මිනිස්සු පදිංචිකරලා එක එක පැති වලින් අලි වැටවල් ගහලා තියෙන නිසා අලි ගම් වදිනවා කියන එක තමයි අපිට පේන්නේ . අපේ ජීවිත කාලේ නොතිබුණ ප්‍රශ්ණයක් දැන් ඉස්මතු වෙලා තියෙනවා. ඒක අපේ ජීවිත වලට තර්ජනයක් වෙලයි තියෙන්නේ” යනුවෙන් ඒ මහතා පවසයි.  

ඒ අනුව වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු වලට අනුව අදාල වන අලින්ගෙන් වැඩි ප්‍රමාණයක් හක්කපටස් ආහාරයට ගැනීම නිසා ඝාතනයට ලක්ව ඇති අතර එම ප්‍රමාණය 15 කි තවද වෙඩිවැදීම හේතුවෙන් වන අලින් 14 දෙනකු ඝාතනයට ලක්ව ඇති බවයි වන සංරක්ෂණ නිළධාරීන් පවසා සිටින්නේ . දුම්රියේ ගැටි වන අලින් 11 දෙනකු මිය ගොස් ඇති අතර මෙම අලි මරණ අතරින් විදුලි සැර වද්දවා වන අලින් 11 ක් ඝාතනයට ලක්ව තිබෙන බවද වනජීවි නිළධාරීන් නිරීක්ෂණය කර තිබේ.

කෙසේ වෙතත් මෙසෙ වන අලි තර්ජනය ඉහළ යෑම සම්බන්දයෙන් වවුනියාව මලයාපරත්තකුලම ගම්මානයේ චාමර නිශාන්ත මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ ” යුද්ධයෙන් පසු තම ප්‍රදේශවල වනාන්තර විවිධ හේතූන් මත විනාශවු අතරම අපේ පැත්තේ කැලේ යුද්දෙන් පස්සේ හුගක් කැපුනා බෝගස්වැව ජනපදයට වාගේම ගල් වලවල් දාන්න වාගේ දේවල් වලට කැලේ කැපුනා. මේ මඩුකන්ද කන්දේ ගල් වලවල් පහකට වැඩිය තියෙනවා. ඒවා වලට කැලේ අස්සෙන් පාරවල් කපලා. ඉතින් අලි ඒ පාරවල් දිග අලි ගමට එනවා. මගේ වයස අවුරුදු 35 යි ඒ ජීවිත කාලේ පුරාවටම මේ යුද්ධය ඉවර උනාට පස්සේ තමයි මෙහෙම අලි එන්න පටන් ගත්තේ. එත් යුද්දේ ඉවර වෙච්ච ගමන්ම නෙමෙයි. ඊට අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ ඒ කියනේනේ යුද්දේ ඉවර වෙලා කැලේ ක්‍රම ක්‍රමයෙන් කැපුනට පස්සේ” යැයි ඒ මහතා පවසයි. 

 යුද්ධයෙන් පසු වවුනියාව දිස්ත්‍රීක්කයේ අක්කර 3500 ට අධික ප්‍රමාණයක වන විනාශයක් සිදුව ඇති බව මෙම ප්‍රදේශයේ නව ජනාවාස හා ව්‍යාපෘති අධ්‍යනය කිරීමේදී අපට තහවුරු විය.  එහිදී වැඩි වශයෙන්ම වනාන්තර බෝගස්වැව ජනපදය වෙනුවෙන් පදවි රක්ශිතයේ කපා දමා තිබේ. එහි ගම්මාන හයක් ස්ථාපිත කොට ඇති අතර ඉන් ගම්මාන දෙකක් නැවත පදිංච්කරවු ගම්මාන වන අතර තවත් ගම්මාන 04ක් නව පදිංච්ළ ප්‍රදේශ වශයෙන් හදුනාගත හැකිය.  ඒ අනුව බෝගස් වැව 01 හා වෙහෙර තැන්න යන ගම් දෙක යුධ ගැටුම් හේතුවෙන් අවතැන්වු ගම්මාන දෙකක් වන අතර එම ගම්මාන දෙකේ නැවත පදිංචිවුවන්ට අමතරව නව පදිංච් කිරීම්ද දක්නට ලැබේ. මෙහිදී නව පදිංචි කිරීම් හා නව ගම්මාන වශයෙන් නන්දිමිත්‍රගම, සැළලිහිණි ගම, නාමල් ගම හා බෝගස්වැව 02 යන ගම්මාන මෙම ප්‍රදේශයේ වනාන්තර පද්ධතිය කපා අළුතින් ස්ථාපත කොට ඇති බවට තොරතුරු අණාවරණය වේ.  

කෙසේ වෙතත් මෙසේ තැකීමකින් තොරව කැළැ කපා දැමිම හේතුවෙන් අද වන විට කලින් නොතිබු ගැටළුවකට උතුරේ ජනතාවට මුහුණදීමට සිදුව තිබේ. ඒ  අනුව වනඅලි සේම ඉකුත් වසර 10 තුළ මිනිස් ජීවිතද 08 ක් වන අලි ප්‍රහාර හේතුවෙන් අහිමිව ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණය වේ. ඒ අනුව මෙම ප්‍රදේශ වල ජනතාව පෙන්වා දෙන අන්දමට මෙම ගැටළුව ඉකුත් යුධ සමයෙන් පසු ආරම්භ කෙරුණු ජනපදකරණය හා සංවර්ධන ව්‍යාපෘතීන් හරහා පැනනැගී පවතී.  

මෙම හේතූන් මත බොහෝ පුද්ගලයින් වන අලින් ඝාතනයට හුරුව ඇති අතර ඔවුන් ඒ සදහා හක්කපටස් යොදා ගනී. ඊට හේතුව වන අලියා එහිදී එක් වර මිය නොයෑමයි. එහිදී වන අලියා විදුලි සැර වද්දවා හෝ වෙඩි තබා ඝාතනය කලහොත් නීතිය හමුවේ එය ඔපුප් කිරීමට අදාල අංශ වලට හැකියාව ලැබෙන අතර හක්ක පටස් ආහාරයට දීම හරහා වන අලියා එම ස්ථානයේම මිය නොයෑම නිසා අලින් ඝාතනය කරන්නට නීතියේ රැහැනින් බේරීමට හැකියාව තිබේ.

ඒ නිසාම වන අලින් මර්දනයට මෙම ප්‍රදේශ වල ජනතාව මෙම ක්‍රමය භාවිත කරන අතර වන අලින් සදහාම හක්කපටස් නිපදවිම ද මෙම ප්‍රදේශයේ රහසිගතව සිදු කරණු ලබයි. එහිදී වන අලින් සදහා තල් දවටා හක්කපටස් තබන අතර තල් සුවදට වැඩි වශයෙන් වන අලි පැටවුන් ඒවා ආහාරයට ගනී. ඒ අනුව එම සතුන් දින ගණනක් නිරාහාරව සිට මිය යෑම සිදුවේ. එය වර්ථමානය වන විට ප්‍රභල ඛේදවාචකයක් බවට පත්ව ඇති අතර මෙම ගැටළුව තුළින් මෙරටට පවතින අමිල වස්තුවක් වන වනඅලි සම්පත දිනෙන් දින අඩු වෙමින් පවතින්නේ අමානුෂික අයුරින් ඝාතනය විම තුළිනි. 

ඒ අනුව මෙම ගැටළු පිළිබද ක්ෂේත්‍රයේ ප්‍රවිණයකුගෙන් විමසීමක් සිදු කළ අතර ඔහු මෙසේ අදහස් පල කලහ. මෙම ගැටළුව සම්බන්ධයෙන් අදහස් දක්වන සභාපති සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ ආචාර්යය පෘත්විරාජ් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ , “මෙම ප්‍රදේශ වල පසුගිය කාළයේ තිබුණු යුද්ධය නිසා සෑහෙන්න ගම්මාන වගේම වගා බිම් අතහැරලා මිනිස්සු ගියා. ඉතින් ඒ ප්‍රදේශ පසුකාලීනව අලින්ට හොද වාසස්තාන බවට පත්වුණා. මෙකද අලින්ට මහ කැළේ ජීවත්වෙන්න සුදුසු පරිසර පද්ධතියක් නෙමෙයි තියෙන්නේ . පසුගිය යුද්දේ කාලේ අතහැරපු විශාල කුඹුරු යායවල් තෘණ බිම් වුණා. ඒවා ආශ්‍රීතව අලි සැරිසරන්න පටන් ගත්තා. දැන් දැන් මිනිස්සු යළි පදිංචි කිරීම වාගේම නව පදිංචිකිරීම් අක්‍රමවත්ව සිදු කරන නිසා අලි මිනිස් ගැටුම උග්‍ර වෙලා තියෙනවා. ලංකාවේ එන්න එන්නම අලි මිනිස් ගැටුම වැඩි වෙනවා. ඉකුත් වසර 07 තුළ ඒක සීග්‍ර වැඩිවිමක් බවට පත් වෙලා තියෙනවා. අක්‍රමවත් විදුලි වැටවල් ගහලා කැළෑ තැනින් තැන එළි පෙහෙළි කරාම මෙම තත්වය උද්ගත වෙනවා. මේ සදහා අපි ජාතික වැඩපිළිවෙලක් සකස් කරන්න අවශ්‍යයි ” යැයි ඒම මහතා පවසයි . කෙසේ වෙතත් මෙතෙක් වවුනියාවට නොතිබු ගැටළුවකට යුද්ධයෙන් පසු වවුනියාවේ ජනතාවට පාලකයින් විසින් නිර්මාණය කොට ඇති බව නම් මෙම තොරතුරු වලින් තවදුරටත් අනාවරණය වී තිබේ.

සටහන – ප්‍රසන්න ප්‍රදීප්


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *