Loading...

වාහන ආනයනයේ නිහඩ කතා

රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන්  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දි මෙරටට වාහන ආනයනය තහනම් කරණු ලැබිය.  ඒ වනවිට  රට තුල පැවති දැඩි ආර්ථික අර්බුදය  හමුවේ ඩොලර් සංචිත  පහළයමින් පැවතුණි. එය   වලක්වා ගැනිමේ අරමුණින්    වාහන ආනයනය තහනම් කිරිමට රජය මගින් පියවරගනු ලැබිය. කෙසේවුවද  මේ වනවිට අනිකුත්  ආනයනික භාණ්ඩ සදහා පනවා තිබු ආනයන සිමා ලිහිල්කිරිමට කටයුතු කරණු ලැබිය.මෙවන් පසුබිමක් තුල  පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 100කට වැඩි පිරිසක් තිරුබදු රහිත වාහන ගෙන්විමට අවසර ලබාදෙන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්  ඉල්ලිමක් කරතිබුණි.  වර්තමානයේ මන්ත්‍රිවරුන් භාවිතා කරණු ලබන වාහන  පැරණිවිම හේතුවෙන් තමන් වෙත මන්ත්‍රිවරු මෙම ඉල්ලිම   ඉදිරිපත්කොට  තිබු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කොට තිබුණි.

මන්ත්‍රිවරුන්ගේ අරමුණ වි ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර තිරුබදු රහිත වාහන ගෙන්විම සදහා අවසර ලබා ගැනිමය. මේ අතර විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්, පළාත් රාජ්‍ය නිලධාරින් සහ අධිකරණ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි ඇත..රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ  ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින්  ඊට අදාල නිකුත් කළ චක්‍රලේඛයේ සදහන්ව ඇත්තේ , අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීමත් සමග එම කාලය තුළ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිතව ඇති බවය. මන්ත්‍රීවරුන්ට මුලින්ම වාහන බලපත්‍රය ලබාදිමට කටයුතු කළහොත්  වැරදි මතයක් සමාජගත විය හැකි බැවින්  පළමුව  වාහන බලපත්‍රය  රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදීමෙන් පසු මන්ත්‍රීවරුන්ට බලපත්‍රය ලබාදීම සුදුසු බවට විවිධ පාර්ශව මගින්  රජයට යෝජනා කර තිබුණි..

මේ අතර පසුගිය කාලසීමාවේ ඇති වූ මුල්‍ය අර්බුදය හේතුවෙන් අවසන් වරට ලැබුණු වාහන ආනයන බලපත්‍ර රාජ්‍ය නිලධාරීන් විසින් රුපියල්  ලක්ෂ දෙකක පමණ අඩු වටිනාකමින් යුතු මුදලකට වාහන ආනයනකරුවන්ට විකුණා දමා ඇති බවට මාධ්‍ය මගින් වාර්තාකොට තිබුණි.   රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරින් 200කට වැඩිපිරිසක්  මේ අයුරින් තුට්ටුවකට දෙකට වාහන ආනයන බලපත්‍රය   වාහන ආනයනකරුවන්ට  විකුණා දමා තිබුණි. රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම  රුපියල්  ලක්ෂ විසිපහකට ආසන්නය. වාහන ආනයනය තහනම් කිරීමක් සමග රජයේ බොහෝ විධායක  නිලධාරීන්ට  එම වාහන බලපත්‍රය ළඟ තබාගෙන බලා සිටීමට සිදුවී තිබේ.. ඒ පිරිස අතර වෛද්‍යවරු ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයෝ දහස් ගණනක්  සිටින බවද  වාර්තාවේ.

විනිමය අනුපාතිකය මත  ඇතිකරණ පිඩනය අඩුකිරිම සදහා  2020 වර්ෂයේ  මැයි 22 වැනිදින සිට  වාහන ආනයනය කිරිම නතරකොට තිබුණි..වාහන ආනයනය කිරිම නතර කිරිම හේතුවෙන්  මෝටර් වාහන මත  පනවනු ලබන නිෂ්පාදන  බද්ද මගින් ලද ආදායම   (2022) වර්ෂයේ දි   රුපියල් බිලියන 14.5  දක්වා සියයට 19.9කින් අඩුවි ඇති බැව්  මුදල් ආර්ථික  ස්ථායිකරණ හා  ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය  සදහන් කරන්නේය..2021 වර්ෂයේ දි මෝටර් වාහන මත  පනවනු ලබන නිෂ්පාදන  බද්ද මගින් ලද ආදායම  රුපියල් බිලියන 18.1කට සාපේක්ෂව 2022  එම බදු ආදායම රුපියල් බිලියන 14.5 දක්වා අඩුවි ඇති බවද  මුදල් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වේ.වාහන ආනයනය නතර කිරිම හේතුවෙන් වෙළදපොළ තුළට ඉතා අලුත් තත්වයේ වාහන  පැමිණිම නතරවිය. ඒ විතරක් නොව  භාවිතා කරණු ලැබු වාහනවල මිලද  විදුලි වේගයෙන් ඉහල  ගියේය. වාහන ආනයන සිමා පැනවිමට පෙර රුපියල් ලක්ෂ 30කට අලෙවි වු මෝටර් රථයක් රුපියල් ලක්ෂ 60ක් වැනි අධික මුදලකට අලෙවි වන බවය.

මෙවන් පසුබිමක් තුල  විදේශි රැකියාවල නිරත  ශ්‍රිලාංකිකයන්ට  විද්‍යුත් වාහන ආනයන  බලපත්‍රයක් ලබාදිමට රජය මගින් කටයුතු කරණු ලැබිය. මෙරටට එවා ඇති විදේශ  ප්‍රේෂණ ප්‍රමාණයට  සමානුපාතිකව විද්‍යුත් වාහන ආනයන  බලපත්‍රයක් ලබාදිමට කටයුතු කරණු ලැබිය. රට තුලට ඩොලර් ගලාඒම වැඩිකිරිම, කළු කඩ හරහා  එවනු ලබන විදේශ ප්‍රේෂණ  අවම කිරිම, විදේශිය රැකියාවල සිටින  ශ්‍රිලාංකිකයින්ට  නිතිමය මාර්ග හරහා පමණක්  විදේශ මුදල් ප්‍රේෂණය කිරිමට දිරිගැන්විම  විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබාදිමේ අරමුණ විය. ඉකුත් ( 2023) වර්ෂයේ දි  විදේශ රැකියා සදහා  මෙරට පුද්ගලයින් 297,656 දෙනෙකු පිටත්ව ගොස් තිබුණි. කෙසේවුවද එය 2022 වර්ෂයේ  විදේශගතවු   පුද්ගලයින් 311,056ට  සාපේක්ෂව  සියයට 4.3ක පහත වැටිමකි. ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ  විදේශ රැකියා සදහා පිටත්ව ගිය පිරිසෙන්  සියයට 55.3ක් පුරුෂයින් වන අතර කාන්තාවන්ගේ සංඛ්‍යාව සියයට 44.7කි.මෙම වර්ෂයේ මාර්තු මාසය තුල පමණක්  විදේශගත ශ්‍රමිකයින්ගේ ලැබි ඇති  ප්‍රේෂණ මුදල ඇමරිකානු ඩොලර්  මිලියන 572කි.

මෙවැනි තත්වයක් තුල ඇ.ඩො 20000 ක් හෝ ඊට වැඩි මුදල් ප්‍රමාණයක් මෙරටට  එවනු ලබන  විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ට රුපියල්  මිලියන 12 දක්වා සුඛෝපභොගී මෝටර් රථ  බදු සහනය ලබා දී  තිබුණි.. මේ වන විට විදේශගත ශ්‍රමිකයින් සදහා ලබාදි ඇති විද්‍යුත් වාහන බලපත්‍ර සංඛ්‍යාව 1019කි.  මේ තුලින් ඇ.ඩො මිලියන 109.8ක මුදලක්  ප්‍රේෂණ වශයෙන්  ලැබී තිබු අතර   මේ වනතෙක් ලබාදී ඇති බලපත්‍රවල වටිනාකම  ඇමරිකානු ඩොලර් . මිලියන 46කි. මෙරටට ආනයනය කොට තිබු විද්‍යුත් වාහන  347ක් රේගුව මගින් නිදහස් කොට තිබුණි. කෙසේ වුවද මෙකි ව්‍යාපෘතිය තුල  කිසිදු විනිවිදභාවයක් නොමැති බවත්  විද්‍යුත් වාහන  බලපත්‍ර ලබාදිමේ ක්‍රියාවලිය තුල ගැටළු රැසක් පවතින බව රජයේ මුදල් පිළිබද කාරකසභා රැස්විමේ දි අනාවරණය විය.

මෙකි විද්‍යුත් වාහන බලපත්‍ර මගින් රුපියල් මිලියන 100,150,160 වැනි ඉහල වටිනාකමක් ඇති විද්‍යුත් වාහන ගෙන්වා  තිබුණි.කාරක සභා රැස්විමේ දි අනාවරණය වු තොරතුරුවලට අනුව විදේශ රැකියාවල නිරත සාමාන්‍ය ශ්‍රමිකයින් කිසිදු අයෙකුට මෙකි විද්‍යුත් වාහන  බලපත්‍රය ලබා ගැනිමට අවස්ථාව හිමිවි නොතිබුණි. විදේශිය රටවල සේවය කරණ වෛද්‍යවරු, උපදේශකයින්, මුල්‍ය කළමණාකරුවන් වැනි ඉහල තලයේ රැකියා කරණ පුද්ගලයින් පමණක්  මෙකි විද්‍යුත් වාහන  බලපත්‍රය ලබා ගෙන තිබුණි.. විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදිමේ ක්‍රියාවලිය  ආරම්භයේ සිට වාහන ගෙන්වන ලැබු  පුද්ගලයන් ඇතුළු අදාළ සියලු තොරතුරු ලබා දෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයෙන් මුදල් අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබුණි. රහස්‍ය හා පෞද්ගලික තොරතුරු ලබාදීම පිළිබඳව නීතිපතිවරයාගෙන් විමසිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය දන්වා ඇති බව ද මුදල් පිළිබද  කාරක සභා රැස්විමේ දි අනාවරණය විය.

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂද සිල්වා මහතා කාරක සභා රැස්විමේ දි කිවේ මෙවැනි කථාවකි.

 ” විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදිමේ ක්‍රියාවලිය තුල  කිසිදු විනිවිදභාවයක් හෝ නිසි නියාමනයක් නැහැ.මෙම තත්ත්වය තුළ මේ හරහා විවිධ අක්‍රමිකතා සිදුවන බවට චෝදනා රැසක් කාරක සභාවට වාර්තාවෙලා තියෙනවා.විදේශිය රැකියා කරණ අයගෙන් ලැබෙන ප්‍රේෂණ මුදල් එකවර ගිණුමට එක්වුවද විදෙස් ශ්‍රමිකයන්  මෙම පහසුකම සදහා සුදුසුකම් ලැබීම තුළ මේ හරහා අක්‍රමිකතා සිදුවෙන්න පුළුවන්.   මේ තුල  විවිධ ජාවාරම්කරුවන්ට මුදල් විශුද්ධිකරණය සදහා ද අවකාශය සැලසෙනවා. අනික් කාරණය වන්නේ විදේශගතව  සාමාන්‍ය රැකියාවල් කරන  ශ්‍රමිකයින්  මෙතරම් වටිනාකමක් සහිත වාහන ගෙන්වා ඇත්දැයි කියා  සැකයක් මතුවෙනවා. වාහන ආනයනය තහනම් කර ඇති පසුබිමක දැනට වාහන ආනයනය සදහා පවතින එකම අවස්ථාව මෙය බැවින් අක්‍රමිකතා සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි. වාහන මෙරටට ආනයනය කිරිමේ දි  පහසුකම් සපයන්නා (Facilitator) නමින් පිරිසක් සිටිනවා  ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් ලබා දී නැහැ.

මුදල් අමාත්‍යංශය,, මහබැංකුව, ශ්‍රි ලංකා රේගුව සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යන සියලු ආයතන ඒකාබද්ධව මේ පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් සිදුකොට සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන්න. මෙම විශ්ලේෂණ වාර්තාව ලැබෙන තුරු බලපත්‍ර ලබාදීමේ කාලය දීර්ඝ කරන අදාළ ගැසට්පත්‍රයට  අනුමැතිය ලබා දීමට හැකියාවක්  නැති බව “ හර්ෂද සිල්වා මන්ත්‍රිවරයා සදහන් කළේය.

ක්‍රම හා විධිකාරක සභාව මගින් නිකුත් කළ වාර්තාවට අනුව  මෙකි යෝජනා ක්‍රමය යටතේ විද්‍යුත් වාහන ආනයනය කිරිමේ දි  රේගුව විසින් වැරදි ගණනාවක් සිදුකොට ඇත.කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මගින් චක්‍රලේඛ මගින් දක්වා ඇති  කොන්දේසි උල්ලංඝණය කොට ඇත. ඒ අනුව වාහනය ලියාපදිංචි කළ රට වෙනස් කිරිම, නිෂ්පාදනය කරණ රට වෙනස් කිරිම, තෙවන පාර්ශවයකට මාරුකිරිම, වසරකට වඩා පැරණි වාහන ආනයනය කිරිම  යන  වැරදි සිදුකොට ඇති බව ක්‍රම හා විධිකාරක සභා වාර්තාවේ සදහන් වේ.අනික් කාරණය වන්නේ වාහන මෙරටට ආනයනය කිරිමේ දි  පහසුකම් සපයන්නා (Facilitator)  ලෙස කටයුතු කර ඇත්තේ මෙරටට වාහන ආනයනය කරණු ලබන ප්‍රධාන පෙළේ වාහන සමාගම්ය.

ඒ කොයි හැටි වුවද රජය විසින් විද්‍යුත් වාහන  ආනයනය කිරිමට අවසර ලබාදිමට ගත් තින්දුව හේතුවෙන්  ඉකුත් වර්ෂයේ (2023) පළමු මාස නමය තුල  මෝටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම   රුපියල් බිලියන 21.5දක්වා සියයට 57.1කින්  වැඩිවි ඇති බව  මුදල් අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති  රාජ්‍ය මුල්‍ය කළමණාකරණ වාර්තාවේ සදහන් වේ.මොටර් වාහන මත නිෂ්පාදන බදු ආදායම  වශයෙන්  2022 වර්ෂයේ පළමු මාස නමය තුලදි  රුපියල් බිලියන 13.7ක මුදලක් උපයාගෙන තිබුණි. ඒ අනුව 2022 වර්ෂයේ පළමු මාස නමයට සාපේක්ෂව 2023 වර්ෂයේ එම කාලසිමාව  තුල මොටර් වාහන මත   නිෂ්පාදන බදු ආදායම රුපියල් බිලියන 21.5  දක්වා වැඩිවි ඇත.

. කෙසේවුවද වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වාදෙන්නේ  පසුගිය වසර කිහිපය තුළ ලංකාවට වාහන ආනයනය කිරීමේදී ගෙන්වා ඇති වාහනවලින් 85%ක් පමණ භාවිත කළ වාහන බවය..මෙරටට වාහන ආනයනය කිරීම සඳහා විධිමත් නියාමන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවද එම සංගමය පෙන්වා දෙයි.

 වාහන ආනයනය කිරීමට රජය යළි අවසර දුන්නද එම අවසරය ලැබෙන දිනයේ සිට වාහන මෙරටට ගෙන්වීමට සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව ජපානයේ ශ්‍රී  ලංකා වාහනකරුවන්ගේ සංගමයේ උපදේශක ජගත් රාමනායක පවසයි. මේ තත්ත්වයට හේතුව ශ්‍රී  ලංකාවෙන් නිකුත් වන ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙසට ජපාන බැංකු පද්ධතිය වෙත මේ වනවිට උපදෙස් ලැබ ඇති නිසා බවත් එම තීරණය ආපසු හැරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගත විය හැකි බව හෙතෙම පවසයි. මේ නිසා යළි ජපානයෙන් වාහන ගෙන්වීමේදී සැලකිය යුතු කාලයක් ගත විය හැකි බවත් රාමනායක මහතා සඳහන් කළේය. ජපානයේ සිට විදේශ රටවලට වාහන අපනයනය කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටින ජගත් රාමනායක මහතා සිය ජපාන අත්දැකීම් සමඟ ශ්‍රී  ලංකාවේ වාහන වෙළෙඳපොළ සම්බන්ධයෙන් මතුවිය හැකි තත්ත්වය පිළිබඳව මෙසේ පුරෝකතනය කළේය

 “පසුගිය කාලයේ ශ්‍රී  ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් නොගෙවන ලෙස ශ්‍රී  ලංකාවේ  රජය ජපාන බැංකු  පද්ධතිය වෙත නිල වශයෙන් දැනුම්දී තිබෙනවා. මේ නිසා මේ වනවිට ජපානයේ බැංකුවලින් පහසුවෙන් මුදල් නිදහස් කර ගන්නට බැහැ. ශ්‍රී  ලංකාව හෙට යළි වාහන ගෙන්වීම සඳහා  අවසරය ලබා දුන්නත් මෙම ණයවර ලිපි ක්‍රියාවලිය යළි සක්‍රිය කිරීමට නිල වශයෙන් එම බැංකු පද්ධතිය දැනුවත් කළ යුතුයි. මේ සඳහා යම් කාලයක් ගත වේවි. එම නිසා ඉක්මනින් යළි වාහන ගෙන්වීමේ හැකියාවක් ලැබෙන එකක් නැහැ.

ශ්‍රී  ලංකාවේ බොහෝ  නීති රීති පැය 24ක් තුළ වෙනස් කෙරෙන බවත් එවැනි තත්ත්වයක් තුළ මෙවැනි ව්‍යාපාරවලදී බොහෝ අසීරුතා පැන නැඟෙන බව සඳහන් කළ රාමනායක මහතා යම් නීතියක් වෙනස් කරනවා නම් අද මධ්‍යම රාත්‍රි 12 සිට නොමැතිව යම් නිශ්චිත කාලවකවානුවක් ලබාදී එය සිදු කළ යුතු බව පෙන්වා දුන්නේය. මේ කඩිනම් නීති වෙනස් කිරීමෙන් අහිංසක පුද්ගලයන් අමාරුවේ වැටෙන්නේ.මීට අවුරුදු හතරකට කලින් එක පාරට වාහන ගෙන්වීම නැවැත්තුවා. ඒ වෙලාව වනවිට ණයවර ලිපි විවෘත කර මුදල් ගෙවා තිබූ පුද්ගලයන් ගණනාවකගේ වාහන ලංකාවට ආවා. මේ වාහන අවුරුදු හතරක් තිස්ස් හම්බන්තොට වරායේ ගොඩ ගැහිලා. ළඟදී තමයි නිදහස් කළේ ” යනුවෙන් හෙතෙම සදහන් කළේය.

. මේ වනවිට රජය සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය බස් රථ 25ක් සහ වෑන් රථ 750ක් කඩිනමින් ගෙන්වීම සඳහා නිල අවසරය ලබාදී ඇති අතර සෙසු වාහන ආනයනය සඳහා යළි අවසරය ලබාදීම පිළිබඳව කමිටුවක් හරහා සලකා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය  මහතා සදහන් කොට තිබුණි..

සටහන – ලලිත් චාමින්ද


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *